කැසිනෝ රජාගෙන් මරියා කැරේට දියමන්ති මුද්දක්



කෝටිපති කැසිනෝ ව්‍යාපාරික ජේම්ස් පැකර්ගේ පෙම්වතිය වී සිටියේ සුපිරි ගායිකා මාරියා කැරේයි. මේ දෙදෙනා රට රටවල සංචාරය කරමින් කාලය ගත කළ හැටි මීට කලින් මේ පිටුවෙහිම සටහන් වුණා. ළඟදීම පැකර් සහ මාරියා අතිනත ගන්නට යන බවත් පැවසුණා. විවාහයට පෙර මාරියා අතෙහි ඉතා වටිනා දියමන්ති මුද්දක් පලඳවන්නටත් පැකර් අමතක කළේ නැහැ.

ඒත් මීට දෙසතියකට කලින් ආරංචි පැතිරී ගියේ පැකර් විසින් මාරියා ව අතහැර දමන ලද බවයි. එහෙමනම්, මාරියා සහ පැකර්ගේ විවාහ මංගල්‍යයත් සිදු නොවේවි. පැකර්ගෙන් වෙන්වූ මේ සුපිරි ගායිකාව තවත් හදකට ළංවී ඇති බවයි ඊළඟට කටකතා පැතිරී ගියේ.

සැබවින්ම එය කට කතාවක් නම් නොවෙයි. මාරියා දැන් පෙම් කරන්නේ ඇගේ ප්‍රසංග විචිත්‍රවත් කරන්නට රැඟුම් රඟන නර්තන කණ්ඩායමේ ශිල්පියකුටලු.

ඔහුගේ නම, බ්‍රයන් ටනාකා. පසුගියදා බ්‍රයන් සහ මාරියා සුපිරි අවන්හලක රාත්‍රී ආහාරය ගනිමින් ඉතාම සතුටින් ගත කර තිබෙනවා. මේ පුංචි සාදයට මාරියාගේ කළමනාකරු ලෙස කටයුතු කරන ස්ටෙලා බුලොච්නිකොව්ද එක්වී ඇති බවයි පැවසෙන්නේ.

ඒ මොහොතේ මාරියා ව හොඳින් නිරීක්ෂණය කළ අවට රැඳී සිටි අය පවසා ඇත්තේ පැකර්ගෙන් ඇය ලද වටිනා දියමන්ති මුදුව නොතිබුණු බවයි.


RECOMMEND POSTS