කැනඩා අගමැති බිරිඳටත් කොරෝනා



කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝගේ බිරිඳ සෝෆි ග්‍රෙගරිට ද ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ඊයේ (13) වාර්තා විය.

කැනඩා අගමැති බිරිඳ ලෙස සෝෆි පසුගිය දිනවල බි‍්‍රතාන්‍යයේ පැවැති උත්සවයකට සහභාගී වූවාය. ඇය රෝගී වී ඇත්තේ, බි‍්‍රතාන්‍ය සංචාරය නිම කර ආපසු කැනඩාවට පැමිණි අවස්ථාවේදී යැයි පැවැසෙයි.

සෙම්ප‍්‍රතිශ්‍යාව, මද උණ සහ කැස්ස රෝග ලක්ෂණ හේතුවෙන් 44 සෝෆී වෛද්‍ය පරීක්ෂණයකට ලක් කෙරුණු අතර, එහිදී කොරෝනා වයිරසය ඇයට ආසාදනය වී ඇතැයි තහවුරු විය.

ඒ අනුව, වෛද්‍ය උපදෙස් මත ඇය නිරෝධායනයට (වෙන් කර තැබීම) ලක් කෙරුණු බවත් වෛද්‍යවරුන් ඇයට අවශ්‍ය ප‍්‍රතිකාර ලබා දෙන බවත් වාර්තා වේ.

කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන නමුත් ආරක්ෂිත පියවරක් ලෙස ඔහු දින 14 ක නිරෝධායන කි‍්‍රයාවලියකට යොමු කර ඇතැයි ද පැවැසෙයි.

අසනීප තත්ත්වයක් පෙන්නුම් නොකරන බැවින්, අගමැතිවරයා කොරෝනා වැලදී ඇතිදැයි සෙවීමේ පරීක්ෂණයකට යොමු නොකරන බව ඔහු සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන වෛද්‍යවරු කියති. කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ සහ බිරිඳ සෝෆී ට දියණියන් දෙදෙනකු සහ පුතෙක් සිටී.

ඔටෝවාහිදීය (රොයිටර්)


RECOMMEND POSTS