කලිසම් අඳිනවැයි දොස්



ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන පාකිස්තාන ජාතික මලාලා යූසොෆ්සායි මුස්ලිම් යුවතියකට නුසුදුසු ඇඳුම් අඳිනවා යැයි සාම්ප්‍රදායික දැඩිමතධාරී පාකිස්තාන වැසියන්ගෙන් විවේචන එල්ල වෙමින් පවතී.

20 හැවිරිදි මලාලාට මෙසේ විවේචන එල්ල වී ඇත්තේ, ඇය ‘ජීන්ස්’ කලිසමින් සැරැසී, අඩි උස බූට්ස් සපත්තු පැලැඳ ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයට යන අයුරු දැක්වෙන ඡායාරූප සමාජ ජාල ඔස්සේ සහ පාකිස්තාන ප්‍රාදේශීය පුවත්පත් ඔස්සේ ප්‍රසිද්ධියට පත්වීමෙනි.

එක් ප්‍රදේශීය පුවත්පතක මලාලාගේ එම ඡායාරූපය පළවී තිබුණේ ස්වාත් මිටියාවතේ භූමි කම්පාවක් සිදුවුණු පුවතට සමසමවය. අද බි්‍රතාන්‍ය පුරවැසිභාවය ලැබ සිටියත්, මලාලා පාකිස්තානයේ ස්වාත් නිම්නයේ ගම්මානයක උපන් දැරියකි.
එම ප්‍රාදේහීය පුවත්පත මලාලා සම්බන්ධයෙන් වාර්තාව පළ කර තිබුණේ භූමි කම්පාව හටගත්තේ මලාලාගේ ‘කලිසම් ඇඳීමේ පාපය’ නිසා බව පෙන්වමිනි.

මලාලා වෙඩි ප්‍රහාරයකට ලක් වූ සිද්ධිය සිහිපත් කරමින්, එක් පාකිස්තානුවකු ඡායාරූපය සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත්තේ ‘මලාලාගේ ඔළුව හොඳ නැහැ. ඇගේ ඔළුවට වෙඩි ප්‍රහාරයක් එල්ල වුණෙත් ඒ හින්දයි’ යනුවෙනි.

මේ අතර, මලාලාට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ඇය වෙනුවෙන් ද පාකිස්තාන වැසියන් කිහිප දෙනකු සමාජ ජාල ඔස්සේ අදහස් දක්වා ඇතැයි ද වාර්තා වේ.

‘කෙල්ලකුට නොබෙල් තෑග්ග ලැබුණා. කවුරුවත් කලබල වුණේ නැහැ. කෙල්ල කලිසම් අදිනවා. මුළු රටම ගිනි අරන්’ යනුවෙන් මලාලාට පක්ෂව ද එක් පාකිස්තාන ජාතිකයෙක් අදහස් දක්වා ඇත.

මලාලා මානව ක්‍රියාකාරිනියක් පමණක් නොව, නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලැබ ඇත. ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය සඳහා ඇයට වරම් හිමිවූයේ ඇය දක්ෂ ලෙස උසස් අධ්‍යාපන කටයුතු අවසන් කළ නිසාය.

මලාලාට ඔක්ස්ෆර්ඞ් සරසවි වරම් හිමිවූයේ පසුගිය අගෝස්තුවේදීය. ඇය ඔස්ක්ෆර්ඞ් විශ්ව විද්‍යාලයේ පළමු දේශනයට සහභාගී වූයේ පසුගිය 9 වැනිදාය. මලාලා ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයට පිවිසුණේ දර්ශනවේදය, දේශපාලනය සහ ආර්ථිකය හැදෑරීමටය.

අද මලාලා එක්සත් ජාතීන්ගේ බාලිකා අයිතීන් සුරැකීම වෙනුවෙන් විශේෂ නියෝජිතවරියක ලෙස කටයුතු කරන්නීය. එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත් වී ‘මලාලා පදනම’ යන නමින් පදනමක් ද පිහිටුවා ඇත. ඒ, අසරණ දැරියන්ට පිහිටවීම සඳහාය.

මලාලා යූසොෆ්සායි මීට අවුරුදු පහකට පෙර, 2012 වසරේදී, පාකිස්තානයේ තලේබාන් ත්‍රස්තවාදීයකුගේ වෙඩි ප්‍රහාරයකට ලක් වූවාය.  ඒ වනවිට මලාලා, ගුරුවරයකු වුණු සිය පියාගේ ද සහාය ඇතිව බී.බී.සී. සේවය වෙනුවෙන් පාකිස්තානයේ බාළිකා අයිතීන් වෙනුවෙන් හඬ නැගූ සිසුවියක වූවාය. ඇය පාසල් බස්රියේ සිටිද්දී තලේබාන් ත්‍රස්තවාදියෙක් ඇය අසලටම පැමිණ ඇගේ හිසට වෙඩි තැබුවේ එහෙයිනි.

බරපතල ලෙස තුවාල ලැබූ මලාලා බ්‍රිතාන්‍යයට ගෙන්වා ගැනීමට බ්‍රිතාන්‍ය අගමැති ලෙස කටයුතු කළ ඬේවිඞ් කැමරන් පියවර ගත්තේය. මලාලාගේ පියා මව සහ සොහොයුරාට ද බි්‍රතාන්‍යය පුරවැසි වරම් හිමිවිය. අද මලාලා බි්‍රතාන්‍යයේ පුරවැසියකු පමණක් නොව, කැනඩාවේ ගෞරවණීය පුරවැසියෙකි.

(ඬේලිමේල් ඇසුරිනි)


RECOMMEND POSTS