කරන් ජොහාර් තාත්තා කෙනෙක්



බොලිවුඩ් සිනමාවේ ආදරණීයතම සිනමාකරුවෙකු හා ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන කරන් ජොහාර් පිය පදවිය හිමිකර ගැනීමේ අලුත් ආරංචිය බොලිවුඩය පුරා මේවන විට පැතිරෙන්නේ බොලිවුඩ් සුපිරි තරු රැසකගේ සුබ පැතුම් ගොන්නක් සමඟිනි.

කරන් ජොහාර්ට දාව  කුලියට ගත් ගර්භාෂයක ඉපදී ඇති මෙම දරුවන් නිවුන් දරුවන් දෙදෙනෙකු  වන අතර  ඔවුන් දෙදෙනා ගැහැණු සහ පිරිමි දරුවෙකු වෙති. යාෂ් සහ රූහි නමින් නම් තබා ඇති කරන්ගේ මෙම දරුවන් ඉකුත් මාසයේ මුම්බායි හි පෞද්ගලික රෝහලක උපත ලබා ඇත.

නිවුන් දරුවන් දෙදෙනාගෙන් පිරිමි දරුවාට යාෂ් නම තැබීමට කරන් ජොහාර් කටයුතු කර ඇත්තේ සිය පිය සිහිපත් කරමිනි.සිය දියණියට රූහි ලෙසින් නම් තබා ඇත්තේ සිය මව වූ හිරූ ජොහාර්  ගේ නම ඉංග්‍රීසි භාෂාවෙන් ආපස්සට නම් කරමින් බව වාර්තා වේ.

අලුතින්ම ලැබූ මෙම පිය පදවිය ගැන කරන් ජොහාර් සිට ට්විටර් ගිණුම ඔස්සේ කෙටි පණිවිඩයක් තබමින් කියා සිටියේ පිය පදවිය හිමි වූ සැණින් තම ජීවිතයට අරුත්බර පදනමක් හා වගකීම් රැසක් එක්වූ බවය.එසේම ලැබූ මේ නව පදවිය වෙනුවෙන් තමා කාලයක පටන් මානසික ,කායිකව සහ හැගුම්බර ලෙසින් සවිශක්තිමත් වෙමින් ආදර්ශවත් පියෙකු වීමේ දැඩි බලාපොරොත්තුවෙන් සිටිය බවද කරන් ජොහාර් වැඩිදුරටත් සඳහන් කර ඇත.

මේ අතර කරන් පිය පදවිය හිමිකර ගැනීම සම්බන්ධයෙන් ප්‍රියංකා ,ආලියා බාත් ,වරුන් ධවාන් ,සොනාලි බෙන්ද්‍රේ ,සුෂාන්ත් රාජ්පුත් , රානා ඩග්ගුබටී ඇතුළු බොලිවුඩ් සුපිරි තරු රැසක් ට්ව්ටර් ගිණුම ඔස්සේ සුබ පැතුම් එක් කර තිබිණි.

තිළිණි ද සිල්වා
ෆිල්ම් ෆෙයාර් ඇසුරෙනි.


RECOMMEND POSTS