ඔලිම්පික් උණුසුම් කළ අනස්ටාෂියා



දකුණු කොරියාවේ යොංග්චැංග් නුවර කේන්ද්‍රකොට ගනිමින් පැවැත්වෙන 2018 සීත ඔලිම්පික් උලෙළෙට ඇතුළත් ‘කර්ලිං’ ක්‍රීඩාව සුරූපී රුසියානු ක්‍රීඩිකාවක නිසා ලොව අතිශය ජනප්‍රිය වී ඇති බවත්, ඇය ක්‍රීඩා කරනු දැක ගැනීමට බොහෝ දෙනා ක්‍රීඩාගාරයට පැමිණෙන බවත් විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

මෙම ක්‍රීඩිකාව 25 හැවිරිදි අනස්ටාෂියා බ්‍රයිස්ගලෝවා ය. සියුම් සිරුරකට හිමිකම් කියන ඇය නිරූපිකාවක මෙන් යැයි ක්‍රීඩා ලෝලීන්ගේ අදහස වී තිබේ.

තියුණු නෙත් යුගලක් ඇති අනස්ටාෂියා, මේගන් ෆොක්ස්, ඒඩි්‍රයානා ලීමා වැනි හොලිවුඞ් සරාගිනියන්ට දෙවැනි නොවන බව ද පැවැසෙයි. අනස්ටාෂියා බ්‍රයිස්ගලෝවා ගැන කතාබහක් මේ වනවිට අන්තර්ජාල ඔස්සේ නිර්මාණය වී ඇත.

අනස්ටාෂියා නිසා එතරම් ප්‍රසිද්ධියක් නොමැති ‘කම්මැලි’ ක්‍රීඩාවක් ලෙස ප්‍රකට ‘කර්ලිං’ ජනප්‍රිය වී ඇතැයි ද විදෙස් පුවත් සේවා පෙන්වා දෙයි. අනස්ටාෂියා බ්‍රයිස්ගලෝවා විවාහක සුරූපිනියකි. ඇය ‘කර්ලිං’ ක්‍රීඩාවට යොමු වී ඇත්තේ 2009 වසරේදීය.

රුසියාවේ ‘කර්ලිං’ ක්‍රීඩාව ජනප්‍රිය කිරීමට ද අනස්ටාෂියා බ්‍රයිස්ගලෝවා ඉදිරිපත් වී සිටින්නීය. ක්‍රීඩාව සහ ශරීරසුවතා සම්බන්ධයෙන් උපාධියක් ද ඇයට ඇත.

කර්ලිං වඩාත් ප්‍රකට කැනඩාවේ සහ ස්විට්සර්ලන්තයේය. කර්ලිං ඔලිම්පික් ක්‍රීඩාවකි. මෙහිදී සිදු කෙරන්නේ, ගෝලාකාර, පැතලි ගලක්, අයිස් මත කිසියම් ඉලක්කයකට යැවීමයි. එම ගල අයිස් මත, යෑම සිදු කරන්නේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අයිස් ඔප දමමින් මාර්ගයක් සකස් කර දේද්දීය.
මෙවර සීත ඔලිම්පික් උලෙළට සහභාගී වන්නේ, රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් එක් කණ්ඩායමක් පමණි.

ඊට හේතුව ඉතිරි පිරිස ඔලිම්පික් කමිටුවේ තහනමට ලක් වීම නිසාය. එම පිරිසට මෙවර සීත ඔලිම්පික් තහනම් කෙරුණේ රුසියානු ක්‍රීඩා බලධාරීන්ගේ අනුදැනුම මත ඔවුන් තහනම් උත්තේජක භාවිතා කළැයි චෝදනාවලට වරදකරුවන් වීමෙනි.

(මේල් ඔන්ලයින් ඇසුරිනි)

 


RECOMMEND POSTS