එෂාන් පීරිස් යළි ශ්‍රී ලංකාව ඔසවා තබයි



පසුගියදා මැලේසියාවේ සෙපැන්ග් ජාත්‍යන්තර ධාවන පථයේදී පැවති රොටැක්ස් මැක්ස් ආසියානු ශූරතා 2019 තරඟාවලියේ තෙවන වටයේ දී ඩීඩී2 ජ්‍යෙෂ්ඨ කාණ්ඩයේ පළමු ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලාංකික ධාවන ශූර එෂාන් පීරිස් සමත් විය.

මෙම තරඟාවලියේම පළමු වටය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව මාස 03ක පමණ කාලය නිහැඬියාවකින් පසු එෂාන් මෙම ජයග්‍රහණය වාර්තා කළේය.

ඔහුගේ කළමනාකරු සහ පුහුණුකරු වන ඇරන් ලිම් මහතාගේ මඟපෙන්වීම යටතේ ආර් එල් කාර්ටින් කණ්ඩායමට ක්‍රීඩා කළ එෂාන්, බිරෙලාට් වර්ගයට අයත් කාර්ට් රථයෙන් තරඟයට ඉදිරිපත් විය.

සුදුසුකම් ලැබීමේ තරඟවලදී පස්වන ස්ථානයෙන් ආරම්භ කළ එෂාන් පළමු උණුසුම් වීමේ තරඟයේදී දෙවන ස්ථානයට පැමිණීමට සමත් විය. දෙවන උණුසුම් වීමේ තරඟයේදී සිදුවුණු අනතුරක් නිසා එම තරඟයෙන් ඉවත් වීමට එෂාන්ට සිදු වූ අතර එම නිසා පූර්ව අවසන් තරඟය 10 වන ස්ථානයෙන් ආරම්භ කිරීමට ඔහුට සිදු විය. කෙසේ වෙතත් සුපුරුදු දක්ෂතා විදහා දක්වමින් උද්වේගකාරී ධාවනයක යෙදුණු එෂාන් අවසන් පූර්ව තරඟයේ දෙවන ස්ථානයට පත් වූ අතර ඒ අනුව අවසන් තරඟය දෙවන ස්ථානයේ සිට ආරම්භ කිරීමේ අවස්ථාව ඔහුට හිමි විය.

ඉතාමත් තරඟකාරී වූ අවසන් වටය ආරම්භ වී වට කිහිපයකදී පළමු ස්ථානයෙන් තරඟය ආරම්භ කළ ඩී ආර් එම් මෝටර් ස්පෝර්ට්ස්හි අමෙර් හරිස් පසු කිරීමට එෂාන් සමත් වූ අතර එහිදී ලබාගත් වේගකාරී ධාවනයෙන් පහසු ජයක් හිමි කර ගැනීමට ඔහු සමත් විය.

2015 වසරේ සිට ආර් එල් කාර්ටින් කණ්ඩායම නියෝජනය කරමින් එෂාන් පීරිස් ප්‍රංශය, ජපානය, චීනය, සිංගප්පූරුව, මැලේසියාව සහ තායිලන්තය වැනි ආසියාවේ මෙන්ම ලෝකයේ විවිධ රටවල පැවැති තරඟවලට සහභාගී වෙමින් ශ්‍රී ලංකාවට ගෞරවය ලබා දී ඇත.

ආසියානු ෆෝමියුලා 03 2019 වින්ටර් ශූරතාවලියේ තරඟයක්ද ජයග්‍රහණය කිරීමට සමත් වී ඇති එෂාන් පීරිස් එවැනි තරඟයක් ජයග්‍රහණය කළපළමු ශ්‍රී ලාංකිකයාද වේ.

ඬේවිඞ් පීරිස් සමූහයේ සාමාජික ඬේවිඞ් පීරිස් රේසිං ඇන්ඞ් ලෙෂර් සමාගමට අයත් ශ්‍රී ලංකවේ පළමු සහ එකම ජාත්‍යන්තර කාර්ටින් ධාවන පථය පිහිටි ශ්‍රී ලංකා කාර්ටින් සර්කිට්හි සන්නාම තානාපතිවරයා වන එෂාන් පීරිස් මේ වන විට ජපානයේ පැවැත්වෙන ෆෝමියුලා 03 ආසියානු ශූරතාව සඳහා පිටත්ව ගොස් ඇත.


RECOMMEND POSTS