ඉප් මෑන් වීරයාගේ අවසානය



විංග් චුන් සටන් කලාව හඳුන්වා දුන් ඉප් මෑන් සටන් ගුරුතුමාගේ චරිතය පාදක කර ගනිමින් නිර්මාණය වූ ‘ඉප් මෑන්’ චිත්‍රපට මාලාවේ සිවුවැනි සහ අවසන් වික්‍රමය මේ වනවිට ලොව පුරා තිරගත වෙයි.

‘ඉප් මෑන්’ ලෙස චරිත නිරූපණය කරන්නේ, හොංකොං සටන් නළු ඩොනී ​යෙන් ය. ‘ඉප් මෑන්’ චරිතය සාර්ථක කර ගැනීමට ඩොවනී යෙන් ට හැකි වූයේ සැබෑ ඉප්මෑන්ගේ පුත්‍රයාගේ මඟ පෙන්වීමෙන් වීම ද විශේෂත්වයකි.

2008 වසරේ දී ආරම්භ වුණු ‘ඉප් මෑන්’ චිත්‍රපට මාලාව අතිශයින් ජනප්‍රිය වෙද්දී 2010 දී ‘ඉප් මෑන් 2’ ද 2015 දී ‘ඉප් මෑන් 3’ එළිදැක්විණි. බෲස් ලී ට ගුරුහරුකම් දැක්වූයේ ද ඉප්මෑන් ය. ඉප්මෑන් චිත්‍රපට මාලාව පුරා බෲස් ලී දකින්න ලැබේ. ​

නවතම ‘ඉප් මෑන් 4’ චිත්‍රපටයේ තරුණ බෲස් ලී ඔහුගේ සටන් හැකියාව නිරූපණය කරනු දකින්න ලැබීම ද සුවිශේෂත්වයකි. ‘ඉප් මෑන්’ චිත්‍රපට සියල්ල විල්සන් යිප්ගේ අධ්‍යක්ෂණයකි. වර්තමානයේ අති දක්ෂ සටන් නළුවෝ රැසක් ‘ඉප් මෑන්’ චිත්‍රපටවලට එක් වූහ. මයික් ටයිසන් පවා ඒ අතර සිටී.

‘ඉප් මෑන් 4’ චිත්‍රපටයේ ඉප් මෑන්ට අභියෝගයක් වන්නේත් චිත්‍රපටයේ නපුරා වන්නේත් ඇමෙරිකන් හමුදා නිලධාරියෙකි. මොහුගේ චරිතයට පණ පොවන්නේ ‘අන්ඩිස්පියුටඩ්’ චිත්‍රපට හරහා ජනප්‍රිය වූ සටන් නළු ස්කොට් ඇඩ්කින්ස් ය. ‘ඉප් මෑන්’ චිත්‍රපට සාර්ථක වෙද්දී තවත් එවැනි චිත්‍රපට රැසක්ද නිර්මාණය විය. ඒවා ද ජනප්‍රිය විය.

ඉප් මෑන් 4 චිත්‍රපටයට විල්සන් යිප් මෙන්ම නළු ඩොනී යෙන් නිෂ්පාදකවරු ලෙස ද සම්බන්ධ වී සිටිති. ඇමෙරිකන් ඩොලර් මිලියන 52 ක් වියදම් කරමින් නිර්මාණය කළ ඉප් මෑන් 4 මේ වනවිට ඩොලර් මිලියන 47 ක් උපයා ඇති බව ද හොලිවුඩ් පුවත් සේවා වාර්තා කරයි. මිනිත්තු 105 ක ධාවන කාලයක් සහිත ඉප් මෑන් 4 හොංකොං චීන සිනමා නිර්මාණයකි.

ලුසිත ජයමාන්න


RECOMMEND POSTS