ඇෆ්ගනිස්තානයේ පළමු සිනමා අධ්‍යක්ෂවරිය මරාදැමේ



ඇෆ්ගනිස්තානයේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂවරිය ලෙස, ඇෆ්ගනිස්තානයේත් බටහිර රටවලත් ප්‍රසිද්ධියට ලත් සබා සහාර්, වෙඩි ප්‍රහාරයකට ලක් වී බරපතල තුවාල ලබා දිවියෙන් සමුගත්තාය.

44 හැවිරිදි, සබා සහාර් සිය මෝටර් රථයෙන්, නිවසේ සිට රාජකාරී සඳහා උදෑසන පිටත්ව යද්දී, යතුරු පැදිවලින් පැමිණි තුවක්කුකරුවන් තිදෙනකු මෝටර් රථය හරස් කර වෙඩි තැබීම සිදු කර ඇතැයි කාබුල් පොලිසිය කියයි.

කිසිදු පාර්ශ්වයක් ප්‍රහාරයේ වගකීම බාර ගෙන නොමැති බව සබාගේ සැමියා අමල් සාකී මාධ්‍ය හමුවේ පවසා තිබේ. වෙඩි තැබීම සිදුවූයේ කාබුල් අගනුවරට දකුණු දෙසිනි. ඇෆ්ගන් තලේබාන් ත්‍රස්ත සංවිධානය පවසා ඇත්තේ සබා සහාර් ඝාතනයට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැති බවය.

සබා සහාර් සමඟ කුඩා දරුවකු, රියදුරා සහ සබා සහාර්ගේ අංගාරක්ෂක නිලධාරීන් දෙදෙනා සිට ඇත. තුවක්කුකරුවන්ගේ ඉලක්කය වී ඇත්තේ සබා සහාර් සහ අංගාරක්ෂක නිලධාරීන් පමණි. කුඩා දරුවාට හෝ රියැදුරුට හෝ කිසිදු අනතුරක් සිදුවී නැත. කුඩා දරුවාගේ අනන්‍යතාව මාධ්‍යවෙත අනාවරණය වී නැත.

සබා සහාර් සිනමා අධ්‍යක්ෂවරියක පමණක් නොව, ජනප්‍රිය ඇෆ්ගන් නිළියකි. චිත්‍රපට නිෂ්පාදිකාවකි. සමාජ ක්‍රියාකාරිනියකි. ඇෆ්ගනිස්තානයේ කාන්තා අයිතීන් වෙනුවෙන් හඬ නැගූ තැනැත්තියකි. 2004 දී, ඇය අධ්‍යක්ෂණය කළ පළමු ඇෆ්ගන් චිත්‍රපටය වන්නේ ‘ද ලෝ’ ය. එය අතිශය සාර්ථක විය.

2010 දී ඇය අධ්‍යක්ෂණය කළ ‘පාසිං ද රේන්බෝව්’ චිත්‍රපටය ඇමෙරිකා සිනමා විචාරකයන්ගේ පැසැසුමට ලක් විය. ඇමෙරිකාවේ චෙල්සා ලලිත කලා විශ්ව විද්‍යාලයේ දී සිනමාව ඉගැන්වීමට කලාත්මක මෙන්ම විශිෂ්ට සිනමා නිර්මාණයක් ලෙස සැලකෙන ‘පාසිං ද රේන්බෝව්’ චිත්‍රපටය පාදක කර ගැනෙයි. ඇයගේ අවසන් චිත්‍රපටය 2011 වසරේ අධ්‍යක්ෂණය කළ ‘කාබුල් ඩ්‍රීම් ෆැක්ටරි’ ය.

(රොයිටර් ඇසුරිනි)


RECOMMEND POSTS