ඇස් ගහන කෙල්ලට උසාවි අවසරයක් !



'ඔරු අදාර් ලව්‘  චිත්‍රපටයේ ඉඟි පෑමේ දර්ශනයක් නිසා සමාජ ජාල ඔස්සේ ප්‍රසිද්ධිය පත් වූ මලයාලම් රංගන ශිල්පිනි ප්‍රියා ප්‍රකාශ්ට  එරෙහිව ඉන්දීයාවේ  මුස්ලිම් කණ්ඩායම් ගොනු කළ නඩුවක් ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය නිශ්ප්‍රභ කර තිබේ.

"යම් පුද්ගලයෙකු චිත්‍රපටයක ගීතයක් ගයනවා. ඔබට වෙන වැඩක් නැති නිසා ගීතයට එරෙහිව නඩු පවරනවා" යැයි පවසමින් ඉන්දියානු අගවිනිසුරු දීපක් මිශ්රා අදාළ නඩුව නිශ්ප්‍රභ කළේය.

ශිල්පිනියගේ ඉඟි පෑම "ආගමට අවමන් කරන" බව සඳහන් කරමින් මෙම නඩුව පවරා තිබූ අතර මලයාලම් චිත්‍රපට ගීතයක ඉඟි පාන දර්ශනයක් නිසා ප්‍රියා ප්‍රකාශ් මෙම වසරේ ඉන්දියානු සමාජ ජාල තුළ මහත් ප්‍රසිද්ධියට පත් විය.

මුහම්මද් නබි නායකතුමාගේ බිරිඳ ගැන සඳහන් වන "පූජනීය ගීතයක්" චිත්‍රපටයකට යොදාගැනීම මෙන්ම මෙවැනි ඉඟි පෑම් ඉස්ලාම් ආගමට අවමන් කිරීමක් බව පැමිණිලිකරුවෝ පවසති. ප්‍රියා ප්‍රකාශ්, චිත්‍රපටයේ අධ්‍යක්ෂ සහ නිෂ්පාදකවරයා මුල් නඩුවේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබිණි.

පෙබරවාරි මස එළිදැක්වූ මෙම ගීතය ඉතා ප්‍රසිද්ධියට පත් වූ අතර, ප්‍රියා ප්‍රකාශ් අන්තර්ජාලයේ වැඩිම වාර ගණනක් සෙවූ ඉන්දියානු පුද්ගලයන් අතරට එක් වුණි.

යෞවන ප්‍රේමය තේමාව කරගත් 'ඔරු අදාර් ලව් (Oru Adaar Love)' නම් මලයාලම් භාෂා චිත්‍රපටයේ ප්‍රියා ප්‍රකාශ් රගන්නේ සිසුවියකගේ චරිතයකි.

නඩුව හේතුවෙන් නියමිත දිනයේදී චිත්‍රපටය එළි දැක්වීමට නොහැකි වූ නමුත්, තීන්දුව ලබා දීමත් සමග සැප්තැම්බර් මස දී චිත්‍රපටය එළිදැක්වීමට කටයුතු යොදා තිබේ.

( තිළිණි ද සිල්වා )

බී.බී.සී ඇසුරෙනි.


RECOMMEND POSTS