ඇමැති දයාසිරිගෙන් ඇරැයුමක්



ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි සහ බොලිවුඞ් සුරූපිනිය අනුෂ්කා ෂර්මා නව යුවලට ශ්‍රී ලංකාවට පැමිණෙන්නැයි ශ්‍රී ලංකා ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා ඇරැයුම් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

“මම ඉන්දීය නායක විරාත් කෝලිට ආරාධනා කරන්නේ ලංකාවට ඇවිත් ක්‍රීඩා කරන්න නොවෙයි. නව යුවලක් විදියට නිවාඩුවක් ගත කරන්න එන්න කියලයි. ශ්‍රී ලංකා රජයේ ඇරැයුමක් විදියට. ඔහුටත් බිරිඳ අනුෂ්කාටත් ලංකාවේ සුන්දර තැන් බොහොම තියෙනවා නරඹන්න.” යැයි ක්‍රීඩා ඇමැතිවරයා පවසා ඇත.

මේ වනවිට විස්සයි 20 තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ඉන්දීය පිල ශ්‍රී ලංකාවට පැමිණ සිටින නමුත් විරාත් කෝලී එම සංචාරයට එක් වන්නේ නැත.

කෝලි මෙන්ම බොලිවුඞ් නිළි අනුෂ්කා ද ශ්‍රී ලංකාවට ආගන්තුක නොවෙයි. පසුගිය වසරේ ශ්‍රී ලංකා කෝලි, ඉන්දීය පිලට නායකත්වය දෙමින් ශ්‍රී ලංකාවට පැමිණියේය. අනුෂ්කා ද කෝලි සමඟ පැමිණ සිටියාය.

ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි ලොව කැපී පෙනෙන ක්‍රිකට් තරුවක් ලෙස ප්‍රකටය. ශ්‍රී ලංකා ක්‍රීඩා ඇමැතිවරයා ද කෝලිගේ රසිකයෙකි.

කෝලි ක්‍රීඩා කරනු නැරැඹීමට ද හෙතෙම ප්‍රිය කරයි. පසුගිය අගෝස්තුවේ දිල්ලියේ පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දී කෝලි ක්‍රීඩා කරනු දැක බලා ගැනීමට ද ශ්‍රී ලංකා ක්‍රීඩා ඇමැතිවරයා පැමිණ සිටි බව ද ඉන්දීය පුවත් සේවා පෙන්වා දෙයි.

(ඉන්දීය මාධ්‍ය ඇසුරිනි)


RECOMMEND POSTS