ආක්ෂේ කුමාර්ට හොඳම නළුවා ජාතික සම්මානය



බොලිවුඞ් සිනමාව දිරිගන්වමින්, ඉන්දීය රජය මගින් ප්‍රදානය කරන හොඳම නළුවාට හිමි සම්මානය ‘රස්ටොම්’ චිත්‍රපටයේ කළ රංගනය වෙනුවෙන් බොලිවුඞ් සුපිරි නළු ආක්ෂේ කුමාර්ට හිමිවිය.

හොඳම නළුවාට හිමි එම ජාතික සම්මානය ප්‍රදානය සිදුවන්නේ ඉන්දීය ජනපතිවරයා අතිනි.

ආක්ෂේ කුමාර්ට එම සම්මානය ප්‍රදානය ඉන්දීය ජනාධිපති ප්‍රණාබ් මුඛර්ජී අතින් පිරිනැමීම සිදුවූයේ නවදිල්ලියේ ජනපති මන්දිරය වන රාෂ්ට්‍රපතිභවන්හිදීය. ඒ, ඊයේ (3) සවසය.

49 හැවිරිදි ආක්ෂේ කුමාර් මෙම අවස්ථාවට පැමිණ සිටියේ බිරිය මෙන්ම බොලිවුඞ් නිළියක ද වන ට්වින්කල් ඛන්නා සහ පුතු පුත්‍රයා ද සමඟය.

රංගනයෙන් සමුගෙන ලේඛිකාවක ලෙස කටයුතු කරන ට්වින්කල් ඛන්නා ඇගේ ට්විටර් සමාජ ජාල වෙබ් ගිණුම ඔස්සේ පවසා තිබුණේ තම සැමියාට මෙම ජාතික සම්මානය හිමිවීම ගැන තමන් ආඩම්බර වන බවය.

ආක්ෂේ කුමාර් ඉතා දක්ෂ ප්‍රතිභාපූර්ණ නළුවෙකි. ඔහුට මේ අයුරින් ජාතික සම්මානයක් පිරිනැමුණු පළමු අවස්ථාව මෙයයි.

එන්.ඩී.ටීවී. ඇසුරිනි


RECOMMEND POSTS