අයන් මෑන්ගේ අඩුව පුරවන ස්පයිඩර් මෑන්



ඇවෙන්ජර්ස් චිත්‍රපට මාලාව, ‘ඇවෙන්ජර්ස් එන්ඞ්ගේම්’ චිත්‍රපටයෙන් අවසන් වූයේ තේනෝස් සහ ඔහුගේ හමුදා පරාජය කිරීමට ටෝනි ස්ටාක් හෙවත් අයන් මෑන් තම දිවි පූජා කරමිණි.

ලොව දෙවැනියට වැඩිම ආදායමක් ඉපැයූ චිත්‍රපටය ලෙස ‘ඇවෙන්ජර්ස් එන්ඞ්ගේම්’ චිත්‍රපටය වාර්තා අතරට එක් වෙද්දී, මාවල් ස්ටුඩියෝස් සහ වෝල්ට් ඩිස්නි සමාගමේ මාවල් වීරයන් ඇසුරින් නිර්මාණය වන චිත්‍රපටවල එක් අදියරක් අවසන් විය.

අයන්මෑන් නැති අඩුව ද සමඟ මීළඟට එළිදකින ස්පයිඩර් මෑන් චිත්‍රපටය වන්නේ ‘ස්පයිඩර් මෑන් ෆා ෆ්‍රොම් හෝම්’ ය. මෙය ටොම් හෝලන්ඞ් පීටර් පාකර් සහ ස්පයිඩර් මෑන් ලෙස චරිත නිරූපණය කරන තෙවැනි මාවල් චිත්‍රපටය වන අතර, දෙවැනි ස්පයිඩර් මෑන් වික්‍රමයයි. 

අයන්මෑන් හෙවත් ටෝනි ස්ටාක්ගේ අඩුව ගැන පසුතැවෙමින්, එම අඩුව පිරවීමට තමන්ට හැකිවේවිදැයි දෙගිඩියාවෙන් පසුවන පීටර් පාකර් එසේත් නැතිනම් ස්පයිඩර් මෑන්ට, ටෝනි ස්ටාක්ගේ සහායක හැපීගේ උදව් හිමිවෙයි. තම පාසල් මිතුරු මිතුරියන් සමඟ යුරෝපා සංචාරයකට යද්දී, නික් ෆියුරි (සැමුවෙල් එල් ජැක්සන්) පීටර්ගේ සහාය ලබා ගනී. නික් ෆියුරි, මිස්ටීරියෝ නමින් හැඳින්වෙන තවත් ඉන්ද්‍රජාල වීරයකු පීටර්ට හඳුන්වා දෙයි. ඒ නපුරු බලවේගයකට එරෙහිව සටන් වැදීමටය.

මිස්ටීරියෝගේ චරිතයට පණ පොවන්නේ ජනප්‍රිය නළු ජේක් ගිලන්හැල් ය. මිස්ටීරියෝ, තේනෝස්ගේ බලපෑම් හේතුවෙන් වෙනත් සමාන්තර ලොවකින් අපේ ලෝකයට ආ අයෙකි. අපේ ලෝකය බේරා ගැනීමට ස්පයිඩර් මෑන්, මිස්ටීරියෝ සමඟ එක් වී කරන සටන ‘ස්පයිඩර් මෑන් ෆා ෆ්‍රොම් හෝම්’ චිත්‍රපටයට පාදක වෙයි.

ස්පයිඩර් මෑන් චිත්‍රකතා හා කාටූන් කතාවලට අනුව ‘මිස්ටීරියෝ’ යනු වීරයකු නොව, ස්පයිඩර් මෑන්ට කරදර කරන නපුරෙකි. ‘ස්පයිඩර් මෑන් ෆා ෆ්‍රොම් හෝම්’ චිත්‍රපටයේ මිස්ටීරියෝ වීරයෙකු ද නැතිනම් දුෂ්ටයකු ද යන්න දැනගැනීමට චිත්‍රපටය නැරැඹිය යුතුය. නපුරෙකි. ‘ස්පයිඩර් මෑන් ෆා ෆ්‍රොම් හෝම්’ ජෝන් වොට්ස්ගේ අධ්‍යක්ෂණයකි.


RECOMMEND POSTS