අගමැතිනියගේ මගුල කල් යයි



‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස වසංගතය හේතුවෙන් තම විවාහ මංගල උත්සවය තෙවැනි වරටත් කල් දැමීමට සිදුවුණැයි ඩෙන්මාර්ක අගමැතිනී 42 හැවිරිදි මැටේ ෆෙඩ්රික්සක් කියයි.

අගමැතිනිය මේ බව කියා සිටියේ ෆේස්බුක් සමාජ මාධ්‍ය හරහා ඇය ඇගේ පෙම්වතා බෝ ටෙන්බර්ග් සමඟ සිටින ඡායාරූපයක් පළ කරමිණි. අගමැතිනිය විවාහ මංගල උත්සවය ලබන ජූලි 18 වැනිදාට යොදා ගෙන සිටි නමුත් ‘කොවිඩ් 19’ වයිරස වසංගතය හේතුවන් එල්ල වුණු අභියෝග ජය ගන්නා අයුරු සාකච්ඡා කිරීමේ යුරෝපා කවුන්සිලයේ විශේෂ සැසියකට ඇයට සහභාගී වීමට සිදුවී ඇත.

යුරෝපා කවුන්සිලයේ මෙම විශේෂ සැසිය පැවැත්වීමට තීරණය කර ඇත්තේ හදිසියේය. සැසිය පැවැත්වෙනු ඇත්තේ කෝපන්හේගන් නුවරදීය. යුරෝපා රටක් ලෙසත් යුරෝපා සංගමයේ සාමාජික රටක් ලෙසත් ඩෙන්මාර්කය නියෝජනය කරමින් අගමැතිනිය මෙම සැසියට සහභාගී විය යුතුව ඇත.

‘ඩෙන්මාර්කයේ සහ ඩෙන්මාර්ක වැසියන්ගේ යහපත වෙනුවෙන් මා මගේ මංගල උත්සව දිනය පසුවට කල් දැම්මා. එසේ කළ තුන්වැනි අවස්ථාව මෙයයි. කලින් අවස්ථා දෙකකදීත් කොරෝනා වයිරසය මට හරස් වුණා. වාසනාවකට මගේ පෙම්වතා බෝ ට තේරෙනවා මා සිටින තත්ත්වය. ඔහු මට ගරැ කරනවා ඔහු බොහොම ඉවසිල්වන්ත කෙනෙක්.’ යැයි අගමැතිනිය ෆේස්බුක් හරහා පළ කළ ඡායාරූප සටහනට ඇතුළත් කර තිබේ.

මැටේ ෆෙඩ්රික්සක් ඩෙන්මාර්ක අගමැති ධුරයට පත් වූයේ පසුගිය 2019 දීය. ඩෙන්මාර්ක අගමැති ධුරයට පත්වුණු ළාබාලතම අගමැති වන්නේ ද මැයයි. එපමණක් නොව, ඩෙන්මාර්කයේ අගමැති ධුරයට පත් දෙවැනි කාන්තාව වන්නේ ද මැයයි. 2015 වසරේ සිට සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායිකාව ලෙස කටයුතු කරන්නේ  ෆෙඩ්රික්සක්ය.

මැටේ ෆෙඩ්රික්සක්, 55 හැවිරිදි බෝ ටෙන්බර්ග් ඇසුරු කරන්නේ 2018 වසරේ සිටය. විවාහ නොවුණත් දෙදෙනාට දරුවෝ දෙදෙනෙකි. සිනමාකරුවකු ලෙස ප්‍රසිද්ධ බෝ ටෙන්බර්ග් 2001 සිට 2005 දක්වා විවාහ වී සිටි අයෙකි. පසුගිය වසරේ ෆෙඩ්රික්සක් සහ බෝ ටෙන්බර්ග්ගේ විවාහ ගිවිස ගැනීම සිදුවිය.

කෝපන්හේගන්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS