අක්කා නගෝ වික්‍රමය ආවා: ‘ෆ්රෝසන් 2’



වෝල්ට් ඩිස්නි සජීවීකරණ චිත්‍රපටයක් වන ‘ෆ්රෝසන් 2’ අද (22) සිට ලොව පුරා තිරගත වෙයි. මෙය 2013 වසරේ තිරගත වුණු ලොව පුරා අතිශය ජනප්‍රිය වුණු ‘ෆ්රෝසන්’ චිත්‍රපටයේ දෙවැනි කොටසය.

අයිස් බලය ඇති හිම කුමරිය එල්සා සහ ඇගේ නැගණිය ආනාගේ වික්‍රම ෆ්රෝසන් චිත්‍රපටවලට පාදක වෙයි. ස්වෙන් නමැති පිනිමුවා, පණ ඇති හිම මිනිසා ඕලෝෆ් සහ ආනාගේ පෙම්වතා වන ක්‍රිස්ටෝෆ් චිත්‍රපටයේ සෙසු ප්‍රධාන චරිත වෙති.

‘ෆ්රෝසන් 2’ චිත්‍රපටයේ කතාව ගෙතෙන්නේ උතුරේ සඟවුණු සදාකල් සරත් සෘතුව පවතින, සුන්දර මැජික් වනාන්තරයක් ගැනය. මෙම වනාන්තරයට අරක් ගත් ආත්ම හතරක් සිටින අතර, ගින්දර, ජලය, වාතය සහ පොළොව එම හතර දෙනාය.

ගින්දර ආත්මය කුඩා පනින හූනෙකු වන අතර, ජල ආත්මය අශ්වයෙකි. පොළොව ආත්මය ගල් යෝධයන් පිරිසකි. සුළං ආත්මය සැඬ සුළඟකි. එල්සාගේ මැජික් බලයෙන් මෙම ආත්ම අවදි වෙන්නේ ඇරැන්ඬේල් රාජධානියට තර්ජනයක් වෙමිනි.

ඇරැන්ඬේල් රාජධානිය බේරා ගැනීමට එල්සා, ආනා, ක්‍රිස්ටෝෆ්, ස්වෙන් සහ ඕලෝෆ්ට මෙම මැජික් වනාන්තරයට යෑමට සිදුවෙයි. වීර වික්‍රම රැසක් මැද අවසානයේ එම වනාන්තරයේ ගෝත්‍රිකයන් සහ ඇරැන්ඬේල් රාජධානියේ යටගියාව පිළිබඳ අමිහිරි රසක් ද අනාවරණය කර ගනිමින්, වනාන්තරයේ සිරවුණු ඇරැන්ඬේල් වැසියන් මෙන්ම ගෝත්‍රික වැසියන් ද බේරා ගැනීමට එල්සා සහ ආනාට හැකිවෙයි. ඒ, එල්සාගේ මැජික් බලයේ සැබෑ ශක්තිය කොතරම්දැයි දැන ගනිමිනි.

‘ෆ්රෝසන් 1’ චිත්‍රපටය මෙන්ම මෙම නවතම චිත්‍රපටය ද ලොකු කුඩා කාටත් එකසේ නැරැඹිය හැකි ප්‍රහසනය පිරි වික්‍රමයකි. අධ්‍යක්ෂණය ක්‍රිස් බක් සහ ජෙන්ෆර් ලී ය. සුපුරුදු පරිදි කර්ස්ටන් බෙල්, අයිඩිනා මෙන්සෙල්, ජොෂ් ගැඞ් සහ ජොනතක් ගොෆ් ‘ෆ්රෝසන් 2’ සඳහා හඬ නළු නිළියන් ලෙස එක් වී සිටිති.

පළමු ෆ්රෝසන් චිත්‍රපටය සේම, ගීත රැසකින් ‘ෆ්රෝසන් 2’ හැඩ ගැන්වී ඇත. ‘ඉන් ටු දි අන්නෝන්’ ඒ අතරින් කැපී පෙනෙයි. ‘ලෙට් ඉට් ගෝ’ ගීතය ලොව කාගේත් දෙතොලඟ රැව්දෙන්න වූයේ පළමු ෆ්රෝසන් චිත්‍රපටය තිරගත වීමත් සමඟය.

කෙසේ නමුත් ‘ෆ්රෝසන් 2’ චිත්‍රපටයේ එසේ සිතට දැනෙන ගීතයක් නොවීම ගැන ෆ්රෝසන් රසික රසිකාවියෝ නොසතුටට පළ කර ඇත. ‘ඉන්ටු දි අන්නෝන්’ ගීතය පවා මතකයේ නොරැඳෙයි.

ලුසිත ජයමාන්න

 


RECOMMEND POSTS