12 වැනි එක්ස් මෙන් වික්‍රමය



‘ඇවෙන්ජර්ස්’ චිත්‍රපට බොක්ස් ඔෆිස් වාර්තා පිහිටුවමින් ජනප්‍රිය වීමට පෙර, රිදී තිරය ජයගත් මාවල් වීරයන් වූයේ මියුටන්ට් සුපිරි වීරයන්ගේ එකමුතුව ‘එක්ස් මෙන්’ කණ්ඩායමය.

එක්ස්මෙන් චිත්‍රපට ටුවෙන්ටියත් සෙන්චරි ෆොක්ස් චිත්‍රාගාරයේ නිර්මාණයකි. ෆොක්ස් සමාගම මේවනවිට ඇවෙන්ජර්ස් චිත්‍රපට නිෂ්පාදනය කරන මාවල් සහ ඩිස්නි චිත්‍රාගාර සමඟ අත්වැල් බැඳගෙන සිටී.

එක්ස් මෙන් චිත්‍රපට මාලාවේ 12 වැනි සහ අවසන් වික්‍රමය ‘ඩාර්ක් ෆීනික්ස්’ ලබන 7 වැනිදා සිට ලොව පුරා තිරගත වෙයි.

‘ඩාක් ෆීනික්ස්’ චිත්‍රපටයට කේන්ද්‍රගත වන්නේ එක්ස් මෙන් කණ්ඩායමේ අධි මානසික බලයකින් යුත් ජීන් ග්‍රේ වටාය. ජීන්ගේ සිරුරට ‘ෆීනික්ස්’ නමැති අති ප්‍රබල නපුරු ආත්මය ආවේශ වෙයි. ඒ, අභ්‍යවකාශයේ අකරතැබ්බකට මුහුණ දෙන නාසා ගගනගාමීන් පිරිසක් බේරා ගැනීමට ජීන් දිවි පරදුවට තබන අවස්ථාවේදීය.

ෆීනික්ස් නපුරු ආත්මය ආවේශවීමෙන් ජීන්ගේ බලය දෙගුණ තෙගුණ වෙයි. ඇය එක්ස්මෙන් කණ්ඩායමටත් සෙසු මියුටන්ට්වරුන්ටත් මනුෂ්‍යයන්ටත් තර්ජනයක් වෙයි.

සුපුරුදු පරිදි ජීන්ගේ චරිතයට පණ පොවන්නේ ‘ගේම් ඔෆ් ත්‍රෝං’ කතා මාලාවෙන් ජනප්‍රිය වුණු, සෝෆි ටර්නර්ය.

ඊට අමතරව සුපිරි නළු නිළියන් වන ජෙනිෆර් ලෝරන්ස්, ජේම්ස් මැක්ඇවි, මයිකල් ෆාස්බෙන්ඩර්, නිකොලස් හෝල්ට් ආදීහු ඔවුනොවුන්ගේ චරිත සඳහා යළිත් එක් වී සිටිති. ‘ඩාක් ෆීනික්ස්’ චිත්‍රපටය සයිමන් කිංබර්ග්ගේ අධ්‍යක්ෂණයකි.


RECOMMEND POSTS