007 ජෝම්ස් බොන්ඩ්: ෂෝන් කොනරි සමුගනී



ස්කොට්ලන්ත ජාතික, ප්‍රවීණ මෙන්ම සම්මානනීය නළු ශ්‍රීමත් ෂොන් කොනරි අද (31) දිවියෙන් සමුගත්තේය. ඔහුගේ වයස අවුරුදු 90 කි.

ෂෝන් කොනරි වඩාත් ජනප්‍රිය වූයේ පළමු 007 ජේම්ස් බොන්ඩ් ලෙස බොන්ඩ් චිත්‍රපටවලට එක් වෙමිනි.

කලක සිට රෝගී තත්ත්වයන්ගෙන් පීඩා විදි ෂෝන් කොනරි, නින්දෙන්ම අවසන් සුසුම්හෙළා ඇත්තේ බහාමාස් හි පිහිටි ඔහුගේ නිවසේදී බවත් පැවැසෙයි. ෂෝන් කොනරිගේ අභාවය පිළිබද නිවේදනය කළේ ඔහුගේ පවුලේ සාමාජිකයන්ය.

බ්‍රිතාන්‍ය රහස් ඒජන්ත 007 ජේම්ස් බොන්ඩ්ගේ චරිතය බිහි කළේ ෂෝන් කොනරි යැයි කීවොත් නිවැරදිය.

‘ඩොක්ටර් නෝ’ පළමු බොන්ඩ් චිත්‍රපටය එළිදැක්වූයේ 1962 වසරේ දීය.

ඉන්පසු 1963 දී ෆ්‍රොරොම් රුසියා විත් ලව්, 1964 දී ගෝල්ඩ්ෆින්ගර්, 1965 දී තන්ඩර්බෝල්, 1967 දී යූ ඔන්ලි ලිව් ට්වයිස්, 1971 දී ඩයමන්ඩ්ස් ආ ෆෝඑවර් යන ජේම්ස් බොන්ඩ් චිත්‍රපට පහේ ජේම්ස් බොන්ඩ් ලෙස චරිත නිරූපණය කළේ ෂෝන් කොනරි ය.

ඉන්පසු ජේම්ස් බොන්ඩ් චරිතය සඳහා රොජර් මුවර් තෝරා ගැණින.

කෙසේ නමුත් විරාමයකින් පසු 1983 දී තිරගත වුණු නෙවර් නෙවර් අගේන් ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයට ෂොන් කොනරි යළි එක් විය.

හන්ට් ෆෝ රෙඩ් ඔක්තෝබර්, හයිලෑන්ඩර්, ඉන්දියානා ජෝන්ස් ඇන්ඩ් ද ලාස්ට් කෘසේඩ්, එන්ට්‍රප්මන්ට්, අන්ටචබල්ස්, ද ලීග් ඔෆ් එක්ස්ට්‍රෝඩිනරි ජෙන්ටල්මන් ද රොක් ආදී චිත්‍රපට රැසක ෂෝන් කොනරිගේ කැපී පෙනෙන සිනමා නිර්මාණ වෙයි.

එන්ට්‍රප්මන්ට් චිත්‍රපටයේ කැතරින් සීටා ජෝන්ස් සමඟ

හැරිසන් ෆෝඩ් ඉන්දියානා ජෝන්ස්ගේ චරිතයට පණ පොවද්දී,
ඉන්දියානා ජෝන්ස්ගේ පියාගේ චරිතය නිරූපණය කළේ ෂෝන් කොනරිය.
 

හයිලෑන්ඩර් චිත්‍රපටයේ දසුනක්

ඔස්කර් සම්මානනීය නළුවකු වීමෙන් පසු ෂෝන් කොනරි චිත්‍රපට නිෂ්පාදකවරයෙක් ද විය. ෂෝන් කොනරි ලොව වඩාත් සරාගී නළුවකු ද විය. කොනරි සිනමාවට පිවිසියේ මිස්ටර් යුනිවර්ස් කාය වර්ධන ශිල්පියකු ලෙසය.

අමරණීය ජේම්ස් බොන්ඩ් ලෙස කොනරි සැලකෙන නමුත්, ජේම්ස් බොන්ඩ්ගේ චරිතය නිර්මාණය කළ ඉයන් ෆ්ලෙමින්, බොන්ඩ් චරිතයට කොනරි තෝරා ගැනීම ගැන අප්‍රසාදය පළ කර ඇත.

ෂෝන් කොනරි, ඇමෙරිකන් ජනාධිපතිවරයකු වන බිල් ක්ලින්ටන් අතින් ද දෙවැනි එලිසබත් මහ රැජින අතින් ද ගෞරව සම්මානයට පාත්‍ර විය. ෂෝන් කොනරිට නයිට් පදවිය පිරිනැමුවේ එලිසබත් මහ රැජිනය.

ෂෝන් කොනරි උපන්ගේ 1930 අගෝස්තු 25 වැනිදා එක්සත් රාජධානියේ එඩින්බරෝහිදීය. ෂෝන් කොනරි දෙවරක් විවාහ වී ඇත. මිෂෙලීන් රොක්බර්න් සහ ඩයෑන් සිලෙන්ටෝ සමඟය.

ෂෝන් කොනරි ට පුතකු සිටී. ඔහු ජේසන් කොනරි වන අතර, රොබින් ඔෆ් ෂර්වුඩ් රූපවාහිනී කතා මාලාවේ, දෙවැනි කතාංගයේ, රොබින් හුඩ් ලෙස චරිත නිරූපණය කළේ ඔහුය.

1991 වසරේ කෙවින් කොස්ට්නර් රොබින්හුඩ්ගේ චරිතය නිරූපණය කළ රොබින්හුඩ් ප්‍රින්ස් ඔෆ් තීව්ස් චිත්‍රපටයේ, කෙටි චරිතයකට ෂෝන් කොනරි එක් විය. ඒ, චිත්‍රපටය අවසානයේ රිචඩ් රජු ලෙසිණි.

(රොයිටර්)


RECOMMEND POSTS