‘ප්‍රෙඩෙටර්’ එනවා



80 දශකයේ තිරගත වුණු සුපිරි හොලිවුඞ් චිත‍්‍රපට අතර කි‍්‍රයාදාම නළු ආනෝල්ඞ් ස්වාසනෙගර් ප‍්‍රධාන චරිත නිරූපණය කරන ‘ප්‍රෙඩෙටර්’ කැපී පෙනෙයි. ප්‍රෙඩෙටර්, තිරගත වූයේ 1987 වසරේදීය. එය ජෝන් මැක්ටර්නන්ගේ අධ්‍යක්ෂණයකි.

මෙහි ආනෝල්ඞ්, ‘ඩච්’ නමැති හමුදා නිලධාරියාගේ චරිතයට පණ දෙයි. පෘථිවියට පැමිණෙන ප‍්‍රබල මෙන්ම බිහිසුණු පිටසක්වළ දඩයක්කාරයකු සමඟ ‘ඩච්’ සටන් කරන සටන සදා අමරණීයය.

‘ප්‍රෙඩෙටර්’ යනුවෙන් හැඳින්වෙන, පිටසක්වළ දඩයක්කාරයන් පාදක කරගනිමින් ‘ප්‍රෙඩෙටර් 2’ චිත‍්‍රපටය 1990 වසරේදී තිරගත විය. එහි ප‍්‍රධාන චරිතය නිරූපණය කළේ ඩැනී ග්ලෝවර්ය. ග්ලෝවර්, මයික් හැරිගන් නමැති නිව්යෝක් නුවර රහස් පරීක්ෂකයකුගේ චරිතයට පණ පොවයි.

‘ප්‍රෙඩෙටර්’ නමින් හැඳින්වෙන පිටසක්වළ ජීවීන් ගැන උනන්දුවක් ඇතිවීමත් සමඟ එම පිටසක්වළයින් පාදක කරගනිමින් චිත‍්‍රකතා රැුසක් ද නිර්මාණය විය. ඊට අමතරව, ‘ඒලියන්ස්’ චිත‍්‍රපට මාලාවේ ‘සීනෝමෝර්ෆ්’ පිටසක්වළ ජීවීන් සමඟ ද ප්‍රෙඩෙටර් පිටසක්වළයන් සම්බන්ධ කරමින් චිත‍්‍රකතා පමණක් නොව චිත‍්‍රපට දෙකක් ද නිර්මාණය විය.

ප්‍රෙඩෙටර් චිත‍්‍රපට මාලාවට අදාලව, ප්‍රෙඩෙටර්ස් යන නමින් වෙනම සිනමා නිර්මාණයක් 2010 වසරේ දී තිරගත විය. ප‍්‍රබල චරිත කිහිපයක් චිත‍්‍රපටයට එක් වී සිටි අතර, ප‍්‍රධාන චරිතය වූයේ රොයිස් නමැති කුලීහේවායාය. රොයිස්ගේ චරිතයට පණ පෙව්වේ ඒඩි‍්‍රයන් බ්‍රෝඩිය.

දැන් යළිත් වරක් ‘ද ප්‍රෙඩෙටර්’ යන නමින් ප්‍රෙඩෙටර් සිනමා නිර්මාණයක් කරළියට පැමිණීමට නියමිතය. මෙම චිත‍්‍රපටයට පාදක වන්නේ 1990 ප්‍රෙඩෙටර් 2 චිත‍්‍රපටයේ සිදුවීම්වලින් පසු සිදුවන සිදුවීම් පෙළකි. මෙම නවතම චිත‍්‍රපටයේ අධ්‍යක්ෂවරයා ෂේන් බ්ලැක්ය. 1987 වසරේ ආනෝල්ඞ් රංගනයෙන් දායක වුණු ප්‍රෙඩෙටර් චිත‍්‍රපටයේ ඩච් (ආනෝල්ඞ් ස්වාසනෙගර්) ගේ කණ්ඩායමේ හෝකිංස් නමැති සොල්ලාදුවාගේ චරිතයට පණ පෙව්වේ ෂේන් බ්ලැක්ය.

1987 චිත‍්‍රපටයේ චිත‍්‍රපටයට නොදෙවැනි අයුරින් මෙම නව චිත‍්‍රපටය තමන් නිර්මාණය කර ඇති බව බ්ලැක් පවසා ඇත. චිත‍්‍රපටයේ තිර රචනය කරනු ලැබ ඇත්තේ ද බ්ලැක් විසිනි. ෂේන් බ්ලැක් ජනපි‍්‍රය අධ්‍යක්ෂකවරයෙකි. ‘අයන් මෑන් 3’ ඔහුගේ නිර්මාණයකි.

නවතම ‘ප්‍රෙඩෙටර්’ චිත‍්‍රපටයේ කතාව වන්නේ ඇමෙරිකාවේ හුදෙකලා කුඩා නගරයට පැමිණෙන ප්‍රෙඩෙටර් පිටසක්වළයන් කණ්ඩායමක් වටාය. ප්‍රෙඩෙටර් පිටසක්වළයෝ, ජාන තාක්ෂණය යොදා ගනිමින් වඩාත් ප‍්‍රබල සහ ශක්තිමත් දඩයක්කාරයන් බයට පත් වී සිටිති. ඒ, වෙනත් පිටසක්වළ ජීවීන් සමඟ ජානමය වශයෙන් මුසු වෙමිනි.

කුඩා දරුවකු අත්වැරදීමකින් යවන සංඥාවක් හේතුවෙන් මොවුන්ගේ යානයක් පෘථිවියට පැමිණෙයි. විද්‍යා ගුරුවරියකගේ ද උදව් ඇතිව, ඇමෙරිකන් රජයේ නිලධාරීන් සහ කුලීහේවා සොල්දාදුවන් පිරිසක් ප්‍රෙඩෙටර් පිටසක්වළයන්ට එරෙහි ගෙන යන සටන චිත‍්‍රපටයේ කතාව වෙයි.

බොයිඞ් හොල්බෘක්, ඔලීවියා මන්, තෝමස් ජේන්, ස්ටර්ලිං කේ. බ‍්‍රවුන් ආදීහු චිත‍්‍රපටයේ නළු නිළි කැළ අතර වෙති. කි‍්‍රයාදාම පිරි ‘ද ප්‍රෙඩෙටර්’ චිත‍්‍රපටය ලබන සැප්තැම්බර් 14 වැනිදා සිට ලොව පුරා තිරගත වෙයි.


RECOMMEND POSTS