ස්කූබී ඩූබී ඩූ !!



ජෝ රූබි සහ කෙන් සිපයර්ස්ගේ එකමුතුවෙන් 1969 වසරේ නිර්මාණය වෙමින් හැනා බාබරා නිෂ්පාදනයක් ලෙස එළිදැක්වුණු අපූරු කාටූන් කතා මාලාවක් වන්නේ ස්කූබි ඩූ ය.

එදා සිට අද දක්වා ස්කූබි ඩූ කතා සහ චිත්‍රපට රැසකි. ලොකු කුඩා කවුරුත් ආදරය කරන ස්කූබි ඩූ, ෂැගී, වෙල්මා, ෆ්රෙඩ් සහ ඩැප්නී අමරණීය චරිත බවට පත් වී ඇත. ස්කූබි ඩූ කාටූන් පමණක් නොව, චිත්‍රපට ද ඇත.

දැන් යළිත් වරක් ‘ස්කූබ්’ යන නමින් ස්කූබි ඩූ චිත්‍රපටයක් කරළියට පැමිණ ඇත.

මෙය සජීවීකරණ චිත්‍රපටයක් වන අතර ෂැගී සහ ස්කූබි ඩූගේ හමුව ඇතුළු මින් පෙර දැන නොසිටි රහස් රැසක් ගැබ්වුණු හාස්‍ය පිරි ලොකු කුඩා කාටත් එකසේ රසවිඳිය හැකි සිනමා නිර්මාණයකි.

‘කොවිඞ් 19’ වයිරසය හේතුවෙන් හොලිවුඞ් සිනමාව අඩපණ වී තිබෙන අතර බොහෝ චිත්‍රපට තිරගත වීම මාස ගණනකින් ප්‍රමාද කර ඇත.

කෙසේ වුවත් ඇතැම් චිත්‍රපට මුදල් ගෙවා අන්තර් ජාලයෙන් නැරැඹීමට කටයුතු කර ඇති අතර, පසුගිය මැයි 13 වැනිදා සිට එසේ අන්තර් ජාලය හරහා දිග හැරුණු චිත්‍රපටයක් වන්නේ ‘ස්කූබ්’ ය.

‘ස්කූබ්’ චිත්‍රපටය ටෝනි කර්වොන්ගේ අධ්‍යක්ෂණයකි. සැක් එෆ්රොන්, ජීනා රොඞ්රීගස්, විල් ෆෝර්ට්, මාක් වෝල්බර්ග් හඬ නළුවෝ ලෙස චිත්‍රපටයට දායක වෙති.

ස්කූබට් ස්කූබි ඩූ ලෙස හඬ දායකත්වය සපයන්නේ ෆ්රෑන්ක් වෙල්කර්ය. දශක 6 ක් තිස්සේ ස්කූබිට හඬ දෙන්නේ 74 හැවිරිදි වියෙහි පසුවන ෆ්රෑන්ක් වෙල්කර් ය.

ලුසිත ජයමාන්න


RECOMMEND POSTS