ලතින් කෙල්ලෝ දෙන්නාගේ හපන්කම්



‘අපි ලෝකයට පෙන්වමු, ලතින් කෙල්ලෝ දෙන්නකුට කරන්න පුළුවන් දේ’ ඇමෙරිකාවේ මියාමි හි පැවැති සුපර් බෝල් ක්‍රීඩා තරගාවලියේ පළමු විරාමය වර්ණවත් කිරීමට සූදානම් වෙමින් ජෙනිෆර් ලොපේස්, ශකිරාට පැවැසුවාය.

පසුගිය දා ලොව කැලැඹීමට සමත් වූ ජෙනිෆර් ලොපේස් (ජේලෝ) සහ ශකිරාගේ ගායනය මෙන්ම සරාගී රංගනය එලෙස ආරම්භ විය. සුපර් බෝල් යනු ඇමෙරිකන් ජාතික පා පන්දු ක්‍රීඩාවේ ශූරතා තරගාවලියයි.

ජේලෝ සහ ශකිරා පැමිණ සිටි පිරිස මෙන්ම සජීවීව තරගය නරඹන්න වූ සමස්ත ඇමෙරිකානුවන් පමණක් නොව, මුළු ලොවම අමන්දානන්දයට පත් කළේ මිනිත්තු 12 ක කෙටි කාලයක් තුළදී ගීත 20 ක් ගයමින් නර්තනයේ යෙදෙමිනි.

ඇමෙරිකන් ජාතික ජෙනිෆර් ලොපේස් නිළියකි. ගායිකාවකි. වයස අවුරුදු 50 කි. කොලොම්බියානු ගායිකාවක වන ශකිරා දක්ෂ ගායිකාවක මෙන්ම නර්තන ශිල්පිණියකි. ශකිරාගේ වයස අවුරුදු 43 කි.

සරාගී යුවතියෝ දෙදෙනා, වේදිකාවට පැමිණ ඔවුන්ට තවමත් දක්ෂ ලෙස ගී ගැයීමට හැකි බව පෙන්වූහ. සිරුරු ඕනෑම අතකට හරවමින්, පද්දමින් නර්තනයේ යෙදෙන්න හැකි බව පෙන්වූහ. බෙර වාදනයක් පවා පැවැත්වූහ.

සුපර් බෝල් තරගාවලියේ විවේක කාලයේදී, ප්‍රසංග පැවැත්වීම සාමාන්‍යයෙන් සිදුවෙයි. ජනප්‍රිය ගායික ගායිකාවන්, නළු නිළියෝ පවා ඊට සහභාගී වෙති. කෙසේ නමුත්, වසර ගණනාවකට පසු, සුපර් බෝල් තරගාවලියක් කාගේත් අවධානයට ලක් වුණු පළමු අවස්ථාව මෙය යැයි අවිවාදයෙන් පිළිගත යුතුය. සුපර් බෝල් තරගවලිය අවසානයේ කවුරුද දිනුවේ ඇසීමට වඩා කවුරුත් ඇසුවේ ‘ජේලෝ, ශකිරාගේ ප්‍රසංගය කොහොමද?’ යන්නය.

දරුවෝ සිටින අම්මලා තාත්තලා (විශේෂයෙන් අම්මලා) ගෙන් ජේලෝ සහ ශකිරාට විවේචන පවා එල්ල විය. ඒ, පවුලේ සැවොම එකට සිට නැරැඹූ ඔවුන්ගේ ප්‍රසංගය ‘සරාගී වැඩියි’ යැයි කියමිනි.

මෙම ප්‍රසංගයෙන් පසු, ශකිරාගේත් ජේලොගේත් ගීත යළි ජනප්‍රිය වී ඇති බවත්, එම ගීත ඇල්බම් අලෙවියේ වැඩි වීමක් පෙන්නුම් කර ඇති බවත් හොලිවුඞ් පුවත් සේවා වාර්තා කර තිබේ.

(ඬේලිමේල්)

ජේලෝ සහ ශකිරාගේ ගායනයත් රංගනයත් ඔබට දකින්න නොලැබුණේ නම්, මෙන්න ඒකට අවස්ථාව ...


RECOMMEND POSTS