පිස්සු කෙල්ල: හාර්ලි ක්වින්



අතිශය ජනප්‍රිය ඇමෙරිකන් ඩී.සී. චිත්‍රකතා වීරයකු වන්නේ ලොකු කුඩා කවුරුත් හොඳින් දන්නා බැට්මෑන් ය. බැට්මෑන්ගේ ප්‍රධාන සතුරා ජෝකර් ය. ජෝකර්ගේ චරිතය ද සිනමාපට රැසක් හරහා අපට දකින්න ලැබුණි. යකුවාන් ෆීනික්ස් ජෝකර්ගේ චරිතයට පණ පෙවූ 2019 වසරේ ‘ජෝකර්’ චිත්‍රපටය විචාරකයන්ගේ පැසැසුමට පවා ලක් විය.

බැට්මෑන් කතා අනුව, ගොතම් නුවර, ජෝකර් උම්මත්තකයෙකි. සිත්පිත් නැති ඝාතකයෙකි. අපරාධ ලොවේ ප්‍රබලයෙකි. බැට්මෑන් විසින් ජෝකර් අල්ලා ගනු ලැබීමෙන් පසු ඔහු යැවෙන්නේ ‘ආකම්’ උම්මත්තකාගාරයටය. මෙහිදී ජෝකර් මනෝ වෛද්‍යවරියකට යොමු කෙරේ. ඇගේ නම හාර්ලි ක්වින්ය. හාර්ලි ක්වින්, ජෝකර්ගේ උමතුවට ආලය කරයි. ජෝකර් මෙන් මුහුණත් මනසක් වෙනස් කර ගනී. බැට්මෑන්, ජෝකර් ඇතුළු චරිත රැසක් නිර්මාණය කළ බෲස් ටිම් සහ පෝල් ඩිනී දෙදෙනා හාර්ලි ක්වින් චරිතය නිර්මාණය කර තිබේ. හාර්ලි ක්වින්ගේ චරිතය ඩී.සී. චිත්‍රකතා අතරට එක් වූයේ 1993 වසරේදීය.

හාර්ලි ක්වින් විටෙක ඇය නපුරියකි. වීරවරියකි. අයුක්තියට එරෙහිව සටන් කරයි. හර්ලි ජිම්නාස්ටික් ශූරියකි. විස වර්ග රැසකට සිරුර ඔරොත්තු දෙයි. අවි ආයුධ පුහුණුවක් ඇයට ඇත. හාර්ලි ක්වින්ගේ චරිතය බැට්මෑන් කාටූන් කතා මාලා හරහාත්, රූපවාහිනී කතාමාලා හරහාත් දකින්න ලැබුණි.

හාලි ක්වින් රිදී තිරයට පැමිණියේ 2016 වසරේ, ‘සුවිසයිඞ් ස්කොඞ්’ චිත්‍රපටයෙනි. ‘සුවිසයිඞ් ස්කොඞ්’ චිත්‍රපටය සාර්ථක නොවුණත් හර්ලි ක්වින්ගේ චරිතයට ඉහළ ප්‍රතිචාර හිමිවිය. හාර්ලි ක්වින් ලෙස චරිත නිරූපණය කළේ හොලිවුඩයේ ජනප්‍රිය නිළියක වන මාග්‍රට් රූබී ය.

මේ වනවිට ලොව පුරා තිරගත වීම් ආරම්භ කළ ‘බර්ඞ්ස් ඔෆ් ප්‍රේ’ චිත්‍රපටයට පාදක වන්නේ හාර්ලි ක්වින් ඇතුළු බැට්මෑන් චිත්‍රකතා අතරේ දකින්න ලැබෙන කාන්තා වීරවරියන් කණ්ඩායමකි. ‘බර්ඞ්ස් ඔෆ් ප්‍රේ’ ද චිත්‍රකතා මාලාවකි. නවතම චිත්‍රපටයේ ‘බර්ඞ්ස් ඔෆ් ප්‍රේ’ කණ්ඩායමට නායකත්වය දෙන්නේ හාල් ක්වින් ය. සුපුරුදු පරිදි හාර්ලි ක්වින් ලෙස මාග්‍රට් රූබී චරිත නිරූපණයට එක් වී සිටී. මාග්‍රට් රූබී පවසා ඇත්තේ හාලි ක්වින්ගේ චරිතයට තමන් ප්‍රිය කරන බවත්, එවැනි චරිතයකට දායක වෙන්න ලැබීම අපූරු විදියේ අත්දැකීමක් බවත්ය.

හාර්ලි ක්වින්ට අමතරව, ‘බර්ඞ්ස් ඔෆ් ප්‍රේ’ කණ්ඩායමේ වීරවරියන් වන්නේ හන්ට්‍රස්, බ්ලැක් කැනෑරි ඇතුළු කණ්ඩායමය. මේරි එලිසබත් වින්ස්ටඞ්, රෝසි පෙරේස්, ජුර්නී ස්මොලෙට් බෙල් වැනි ජනප්‍රිය නිළියෝ රංගනයෙන් එක් වී සිටිති. චිත්‍රපටයේ නපුරා වන්නේ බ්ලැක් මාස්ක් නමැති අපරාධ කල්ලි නායකයා ය. මොහුගේ චරිතයට පණ පොවන්නේ ඊවන් මැක්ග්‍රෙගර් ය.

බර්ඩ්ස් ඔෆ් ප්‍රේ කැතී යෙන්ගේ අධ්‍යක්ෂණයකි.


RECOMMEND POSTS