ට්‍රම්ප්ට දෙන්නැයි චීස් කෑල්ලක් තෑගි දීලා



ඉතාලි සංචාරයක නියැලෙන ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ, රෝමයේදී ඉතාලි අගමැති ගුසෙප්පේ කොන්තේ හමුවිය. එම අවස්ථාවේදී, අනපේක්ෂිත අයුරින් එතැනට පැමිණි මාධ්‍යවේදිනියක ‘ජනාධිපති ට්‍රම්ප්ට මම තෑග්ගක් ගෙනාවා’ යැයි පවසමින්, චීස් කැබැල්ලක් ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයාගේ අතට දෙයි.

මාධ්‍යවේදිනියගේ පැමිණීමෙන් රාජ්‍ය ලේකම් පොම්පේඕ සහ ඉතාලි අගමැති ගුසෙප්පේ කොන්තේ පුදුමයට පත් වෙති. එම සිදුවීමේ දසුන් මේ වනවිට මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී තිබේ.

‘මේ තෑග්ග ජනපති ට්‍රම්ප්ට දෙන්න. මේක ‘පර්මිජියානෝ රෙගයියානෝ’ චීස් කැබැල්ලක්. ඉතාලියේ හොඳම චීස් වර්ගය මෙයයි. හරිම රසයි. අපේ අගමැතිතුමා මේ ගැන හොඳින් දන්නවා. මේ චීස් අපි හදන්නේ අපේම ක්‍රමයකට. අපේ අභිමානය තමයි මේ චීස්. හැබෑම ඉතාලි චීස් කියන්නේ මේවාට තමයි’ යැයි පවසමින්  හොඳින් ඔතා ගෙන ආ එම චීස් කැබැල්ල රාජ්‍ය ලේකම් පොම්පේඕට දුන්නේ, ඇලිස් මාටිනෙල්ලි නමැති මාධ්‍යවේදිනියයි.

අගමැති කොන්තේ සහ ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයාගේ හමුව ආවරණය කිරීමට මාධ්‍ය කණ්ඩායමක් පැමිණ සිටි අතර, චීස් කැබැල්ල තෑගි කළ එම මාධ්‍යවේදිනිය එම අවස්ථාවට පැමිණ සිටි මාධ්‍යවේදිනියකි. ඇය මෙවැනි දෙයක් කරාවි යැයි අගමැතිවරයා හෝ ආරක්ෂක අංශ නිලධාරීන් හෝ දැන සිට නැත.

‘මේ නෝනා මෙතැනින් අරන් යන්න’ යැයි අගමැති කොන්තේ ආරක්ෂක නිලධාරීන්ට උපදෙස් දෙද්දී, ඔවුන් පැමිණ ඇය එතැනින් රැගෙන යයි. මයික් පොම්පේඕ, තමන්ට ලැබුණු ‘චීස් තෑග්ග’ අතැතිව සිනහමුසු මුහුණින් බලා සිටී. සිදුවුණු එම සිදුවීම සම්බන්ධයෙන් අගමැති කොන්තේ, ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයාගෙන් සමාව ඉල්ලා සිටියේය.

ඇලිස් මාටිනෙල්ලි නමැති මෙම මාධ්‍යවේදිනිය මෙසේ චීස් කැබැල්ලක් තෑගි කළේ, ඇමෙරිකා ජනපති ට්‍රම්ප් ඉතාලියට පනවා ඇති නව තීරු බදු සම්බන්ධයෙන් විරෝධය පළ කිරීමටය. ඇමෙරිකාව පැනැවූ එම තීරු බදු හේතුවෙන් චීස් නිෂ්පාදකයෝ ද දැඩි අර්බුදයකයට මුහුණ පා සිටිති. ඉතාලි අගමැතිවරයා සහ ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා අතර මෙම හමුව පැවැත්වූයේ ද එම තීරු බදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ අරමුණින් යැයි ද පැවැසෙයි.

රෝමයේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS