ට්‍රම්ප්ගේ වෛද්‍ය පරීක්ෂණය



ජනපති ධුරයට පත් වීමෙන් පසු, ඩොනල්ඞ් ට්‍රම්ප් අද (12) සිය ප්‍රථම වෛද්‍ය පරීක්ෂණයට යොමු වීමට නියමිත බව ධවල මන්දිරය නිවේදනය කරයි.

ඇමෙරිකා ජනපතිවරයා සිය ධුර කාලයේදී වෛද්‍ය පරීක්ෂණ කිහිපයකට ලක් කෙරේ. එය සාමාන්‍යයෙන් සිදුවන ක්‍රියාවලියකි. කෙසේ නමුත්, ට්‍රම්ප්ගේ වෛද්‍ය පරීක්ෂණය ගැන ඇමෙරිකානුවන් පමණක් නොව, මුළු ලොවම අවදානයෙන් පසුවන බව විදෙස් පුවත් සේවා වාර්තා කර තිබේ.

ඊට හේතුව, ට්‍රම්ප් මානසික ආබාධයකින් පෙළෙන බවට රාවයක් පැතිර යෑමය. පසුගිය දා ට්‍රම්ප්ගේ ‘රෙදි ගැලවෙන විදියේ’ පොතක් ප්‍රසිද්ධියට පත්විය. ‘ෆයර් ඇන්ඩි ෆියුරි’ නමැති එම පොත ලියා ඇත්තේ ඇමෙරිකන් මාධ්‍යවේදියකු වන මයිකල් වුල්ෆ් නමැත්තාය.

එම පොතෙහි සඳහන් වන අන්දටම ට්‍රම්ප් ‘ඩිමෙන්ෂියා’ රෝගී තත්ත්වයෙන් පෙළෙයි. එමනිසා ට්‍රම්ප් ඇමෙරිකාවේ ජනපති ධුරයට සුදුසු නැති බව වුල්ෆ් පෙන්වා දී තිබේ. අද ට්‍රම්ප් සහභාගී වන වෛද්‍ය පරීක්ෂණයේ ප්‍රතිපල කෙරෙහි කාගේත් අවධානය යොමු වී ඇත්තේ එහෙයිනි.

ජනාධිපති ට්‍රම්ප් පවසන්නේ, වුල්ෆ් එම පොත ලියා ඇත්තේ තමාට සහ තම පවුලේ අයට ‘මඩ ගැසීමේ’ අරමුණින් කියාය. මාධ්‍යවේදී වුල්ෆ්ට එරෙහිව නීතිමගින් කටයුතු කරනවා යැයි ද ට්‍රම්ප් පවසා තිබේ. ට්‍රම්ප්ගේ වෛද්‍ය පරීක්ෂණය පැවැත්වෙනු ඇත්තේ මේරිලන්ඞ් ජනපදයේ බෙතෙස්ඩාහි වෝටර් රීඞ් වෛද්‍ය මධ්‍යස්ථානයේදීය.

ට්‍රම්ප් මධ්‍යසාර හෝ දුම් පානය හෝ නොකරයි. ට්‍රම්ප්ගේ වැඩිමල් සොයුරු ෆ්‍රෙඞ් මියගොස් ඇත්තේ අධික ලෙස මධ්‍යසාර පානය කිරීමෙනි. මියයද්දී ෆ්‍රෙඞ්ගේ වයස අවුරුදු 43 ක් විය.‘ෆයර් ඇන්ඞ් ෆියුරි’ පොතට අනුව, මැක්ඩොනල්ඞ්ස් කෑම, කෙන්ටකි රෝස්ට් කුකුළු මස්, පීට්සා සහ සීනි නොමැති කෝක් ජනපති ට්‍රම්ප්ගේ ප්‍රියතම ආහාර වෙයි. 71 හැවිරිදි වියෙහි පසුවන ට්‍රම්ප්ට මෙම ආහාර අගුණ බව වෛද්‍යවරුන්ගේ අදහස වී තිබේ.

ව්‍යායාම කෙරෙහි ට්‍රම්ප්ගේ පැහැදීමක් නැත. ඔහු පවසා ඇත්තේ සිරරු බැටරියක් බවත්, ව්‍යායාම කිරීමේ දී එය තව තවත් දුර්වල වන බවත්ය. කෙසේ නමුත් ට්‍රම්ප් ගොල්ෆ් ක්‍රීඩා කරයි. 2016 වසරේ ජනපති ධුරයට ඉදිරිපත් වීමට පෙර ට්‍රම්ප් වෛද්‍ය පරීක්ෂණයකට යොමු විය. එම වෛද්‍ය වාර්තා අනුව ට්‍රම්ප්ගේ උස අඩි 6 යි අගල් 3 කි. බර රාත්තල් 236 කි. උසට සරිලන බර 29.5 කි. ඒ අනුව, ට්‍රම්ප් අධික ලෙස තරබාරු යැයි පෝෂණවේදීහු පැවැසූහ.

2016 වසරේ එම වෛද්‍ය වාර්තා අනුව ට්‍රම්ප්ගේ සම්පූර්ණ කොලෙස්ට්‍රෝල් ප්‍රමාණය 169 කි. ඔහුගේ ‘හොඳ’ සහ ‘නරක’ කොලස්ට්‍රෝල් මට්ටද හොඳ තත්ත්වයකින් පවතී. ට්‍රම්ප්ගේ රුධිර පීඩනය 116/70 කි. එය ද ඔහුගේ වයසට අනුව හොඳ තත්ත්වයකි. අක්මාවේ ක්‍රියාකාරීත්වය සහ තයිරොයිඩ ක්‍රියාකාරීත්වය ද හොඳ මට්ටමක පවතී.

(රොයිටර්/බී.බී.සී.)


RECOMMEND POSTS