ට්‍රම්ප්ගේ වැඩිමල් පුතුටත් කොරෝනා



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ වැඩිමල් පුතු ඩොනල්ඞ් ට්‍රම්ප් ජූනියර් (කනිෂ්ඨ), ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයකු බව හඳුනා ගෙන තිබේ.

42 හැවිරිදි ඩොනල්ඞ් ට්‍රම්ප් ජූනියර්, ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ පළමු විවාහයේ පුත්‍රයාය. ඩොනල්ඞ් ට්‍රම්ප් ජූනියර්ගේ මව ඉවානා ට්‍රම්ප් ය. ට්‍රම්ප්ගේ දියණිය වන ඉවන්කා ට්‍රම්ප්ගේ මව වන්නේ ද මැයයි. ඩොනල්ඞ් ට්‍රම්ප් ජූනියර් ව්‍යාපාරිකයකු වන අතර, ජනපති ට්‍රම්ප්ගේ දේශපාලන කටයුතුවලට ද ඔහු සම්බන්ධය.

‘කොවිඞ් 19’ ආසාදිතයකු බව තහවුරු වීමත් සමඟ ඩොනල්ඞ් ට්‍රම්ප් ජූනියර් නිරෝධායනයේ රැඳවීමට වෛද්‍යවරුන් තීරණය කර තිබේ. ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව පැවැසෙයි.

මේ වනවිට ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට, තෙවැනි මෙන්ම වත්මන් බිරිඳ වන මෙලානියාටත්, ඔවුන් දෙදෙනාගේ 14 හැවිරිදි පුතුටත් ‘කොවිඞ් 19’ වයිරසය ආසාදනය විය.

ජනපති ට්‍රම්ප් වයිරස ආසාදිතයකු වූයේ පසුගිය 3 වැනිදා පැවැති ඇමෙරිකන් ජනාධිපතිවරණයට දින කීපයක් තිබියදීය. දින 3 ක් වැනි කෙටි කාලයක් රෝහල්ගතව සිටි ට්‍රම්ප්, වයිරසය පරාජය කරමින් යළි ධවල මන්දිරයට පැමිණියේ අත්හදා බැලීමේ මට්ටමේ පවතින ඖෂධ රැසක් ලබා ගනිමිනි.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS