ජූමන්ජි තවත් වික්‍රමයක්



ජූමන්ජි චිත්‍රපට මාලාව නව මානයකට ගෙන යමින්, නව ජූමන්ජි චිත්‍රපට පෙළ නිර්මාණය ආරම්භ වූයේ 2017 වසරේදී ය.

ඒ සුපිරි නළු නිළි කැලකගේ එකමුතුවෙනි. ඞ්වේන් ජොන්සන්, කෙවින් හට්, ජැක් බ්ලැක්, කැරන් ගිලන්, නික් ජොනාස් සහ තවත් ආධුනික තරුණ නළු නිළියෝ චිත්‍රපටයට එක් වූහ.

ජේක් කැස්ඩන්ගේ අධ්‍යක්ෂණයක් වන මෙම චිත්‍රපටය මීට වසර 20 කට පමණ පෙර නිර්මාණය වූ ජුමන්ජි චිත්‍රපටය හා සම්බන්ධ වෙයි.

පළමු ජූමන්ජි චිත්‍රපටය තිරගත වූයේ 1995 වසරේදීය.

එය ප්‍රවීණ අධ්‍යක්ෂ ජෝ ජොන්ස්ටන්ගේ අධ්‍යක්ෂණයකි. හොලිවුඩයේ සදා අමරණීය ප්‍රහසන නළු රොබින් විලියම්ස්, බොනී හන්ට්, කර්ස්ටින් ඩන්සෙට් ඇතුළු නළු නිළියෝ රැසක් චිත්‍රපටයට සම්බන්ධ වූහ.

එදා පැවැති පරිගණක තාක්ෂණයේ උපරිමය යොදා ගනිමින් නිර්මාණය වූ ජූමන්ජි බෝක්ස් ඔෆිස් වාර්තා පිහිටුවූ චිත්‍රපටයක් වූවා පමණක් නොව, හොලිවුඩයේ කැපී පෙනෙන චිත්‍රපටවලින් එකකි.

2005 දී ජූමන්ජි හා සමාන ‘සතුරා’ නමින් අභ්‍යවකාශ වික්‍රමයක් රැගත් චිත්‍රපටයක් නිර්මාණය විය. කෙසේ නමුත් එය එතරම් ජනප්‍රිය වූයේ නැත.

එම ජූමන්ජි චිත්‍රපටයේ මතකය රඳවා ගනිමින්, 2017 දී ජූමන්ජි ඉන්ටු ද ජංගල්’ තිරගත විය. දැන් එහි දෙවැන්න, ‘ජූමන්ජි: ද නෙක්ස්ට් ලෙවල්’ ලොව පුරා තිරගත වීම අරඹා ඇත. ඒ, බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දමමිනි.

‘ජූමන්ජි: ද නෙක්ස්ට් ලෙවල්’ චිත්‍රපටයේ ද ගැටවරටන් පිරිස ජූමන්ජි ක්‍රීඩාව ඇතුළට යයි.

එහිදී ඔවුන් ලෙස යළිත් වරක් චරිත නිරූපණයේ යෙදෙන්නේ ඞ්වේන් ජොන්සන්, කෙවින් හට්, ජැක් බ්ලැක්, කැරන් ගිලන්, නික් ජෝන්ස් ඇතුළු පිරිසය. එපමණක් නොව හොපිවුඩයේ ප්‍රවීණ නළුවෝ දෙදෙනකු වන ඩැනී ග්ලෝවර් සහ ඩැනී ඩිවීටෝ ද චිත්‍රපටයට සම්බන්ධ වී සිටිති.

‘ජූමන්ජි: ද නෙක්ස්ට් ලෙවල්’ අපූරු අත්දැකීමක් බව එහි අධ්‍යක්ෂ ජේක් කැස්ඩාන් කියයි. සුපුරුදු පරිදි ක්‍රීඩාව තුළ සිරවන පිරිස එයින් පිටවී යෑමට නම් ක්‍රීඩාව සම්පූර්ණ කළ යුතු වෙයි. 2017 වසරේ චිත්‍රපටයේ මෙන් නොව, මෙම චිත්‍රපටය අභියෝග රැසකින් සමන්විත එකකි.

ලුසිත ජයමාන්න


RECOMMEND POSTS