එන්නත ගත් අගමැති



සිංගප්පූරුවේ අග්‍රාමාත්‍ය ලී හ්සියෙන් ලූන්ග් කොවිඩ්-19 එන්නත ලබාගත්තේ ය. ඒ, සිංගප්පූරුව ඔවුන්ගේ එන්නත්කරණ වැඩසටහන ආරම්භ කළ අවස්ථාවේදීය.

අග්‍රාමාත්‍යවරයා ප්‍රසිද්ධියේ එන්න ලබා ගනිමින්, සැවොම එය ලබා ගත යුතු යැයි අවධාරණය කළේය. එන්නත ලබා ගැනීම ආරක්ෂිත බව ද පැවැසුවේය.

එන්නත්කරණ වැඩසටහන යටතේ  රට පුරා තිබෙන මහජන සෞඛ්‍ය ආයතනවලදී එන්නත ලබා දීම සිදුවෙයි.අග්‍රාමාත්‍යවරයාගෙන් පසු මුලින්ම එන්නත ලබා ගත්තේ රෝහල්වල ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයන් ය.

අග්‍රාමාත්‍ය ලී හ්සියෙන් ලූන්ග් එන්නත ලබාගත් සිංගප්පූරුවේ ජාතික රෝහලේදී ය. ඉන්පසු සිංගප්පූරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සේවා අධ්‍යක්ෂ කෙනෙත් මාක් ද එන්නත ලබාගත්තේ ය.

ඔවුන් දෙදෙනාට අමතරව එන්නත ලබා ගත් රෝහල් කාර්යමණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් ගණන 88 කි.

සිංගප්පූරුවේ ජාතික රෝහල (එස්.ජී.එච්) යනු එරට විශාලතම සහ පැරැණිතම රෝහලය. එහි හිමිකාරීත්වය සම්පූර්ණයෙන්ම ඇත්තේ සිංගප්පූරු රජයටය. නිව්ස්වීක් සඟරාවට අනුව පසුගිය වසරේ ලොව හොඳම රෝහල් අතර තෙවැනි තැන සිටින්නේ ද මෙම රෝහලය.

‘‘මට කිසිම වේදනාවක් අපහසුතාවක් නැහැ. එන්නත ලබා ගන්න කිසිම කෙනෙකු බිය විය යුතු වන්නේ නැහැ’’  යැයි සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී කී ය.

එන්නත ලබාගැනීමෙන් අනතුරුව සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා මිනිත්තු 30කට ආසන්න කාලයක් වෛද්‍ය නිරීක්ෂණයට ලක්විය.

අග්‍රාමාත්‍යවරයා මාධ්‍යවේදීන් ඇමතුවේ ඉන් අනතුරුව ය. එන්නත ලබා දුන් හෙදිය සමඟ සෙල්ෆි ඡායාරූපයකට පෙනී සිටීමට ද අග්‍රාමාත්‍ය ලී කී අමතක නොකළේය‍.

අග්‍රාමාත්‍යවරයාට එන්නත ලබාදුන්නේ රෝහලේ ජ්‍යෙෂ්ඨ කාර්යමණ්ඩල හෙද නිලධාරිනි ෆාතිම මොහ්ද් ෂාහ් ය. ඇය 41 වැනි වියේ පසුවන්නීය. ‘‘අග්‍රාමාත්‍යවරයාට එන්නත දෙන්න අවස්ථාව ලැබීම සතුටක් වගේම ගෞරවයක්. ඔව්, ඇත්තටම ඒ වෙලාවේ මා හිටියේ චකිතයකින්. ටිකක් බයෙන්.’’ යැයි ඇය පසුව මාධ්‍ය හමුවේ පැවැසුවාය.

සිංගප්පූරු රජය මිලදී ගෙන එරට වැසියන්ට නොමිලේ ලබා දෙන්නේ ෆයිසර්/බයෝඇන්ටෙක් එන්නතය.

ඇමෙරිකාවේ ෆයිසර් සමාගම සහ ජර්මනියේ බයෝඇන්ටෙක් සමාගම එක්වී නිපදවූ මෙම එන්නතේ සාර්ථකත්වය සියයට 95 කි.

ෆයිසර්/බයෝඇන්ටෙක් එන්නත මාත්‍රා දෙකකින් සමන්විත වන අතර දින 21කට පසු දෙවැනි මාත්‍රාව ලබා දෙයි.

කොවිඩ්-19 එන්නතේ පළමු මාත්‍රාව අග්‍රාමාත්‍යවරයාගේ දකුණු අතට ලබාදුන් අතර අග්‍රාමාත්‍යවරයා වමත් කරුවෙකි. අග්‍රාමාත්‍යවරයා තවත් සති තුනකින් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදීමට නියමිත ය.

වයිරසයට එරෙහිව සිරුරේ ප්‍රතිශක්තිය වර්ධනය වන්නේ ඉන්පසුවය.එන්නත ලබාගන්නා සියලුදෙනාට එන්නත්කරණ කාඩ්පතක් ලබාදෙන අතර නැවත පැමිණිය යුතු සිහිපත් කිරීම සඳහා එම කාඩ්පතේ අදාළ දිනය සටහන් කර තිබේ.

‘‘සිංගප්පූරුවේ සියලු දෙනා එන්නත ලබාගනීවි යැයි මා බලාපොරොත්තු වෙනවා. අපට එන්නත් සාම්පල ද ලැබෙනවා. අපි කලින්ම ඇණවුම් කළා. සිංගප්පූරුවේ සියලු දෙනාටම එන්නත් තියෙනවා. අපේ රටේ හැමෝටම දෙන්න එන්නත් තිබෙනවා. ඒ විතරක් නෙමෙයි අපේ රටේ පුරවැසියන් නොවන අයටත් ප්‍රමාණවත් වෙන්න එන්නත් තිබෙනවා’’ යැයි අග්‍රාමාත්‍යවරයා මාධ්‍ය හමුවේ පැහැදිලි කළේය.

සෞඛ්‍ය සේවකයන්ට එන්නත ලබාදීම නිරීක්ෂණය කිරීම සඳහා සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී හ්සියෙන් ලූන්ග් ද ජාතික රෝහලට පැමිණ සිටියේය. ඔහු ද එන්නත ලබාගත් බව පැවැසෙයි.

ද ස්ට්‍රේට් ටයිම්ස්


RECOMMEND POSTS