අනුෂ්කා කෝලිගෙන් මෝදිටත් ඇරැයුමක්



නව යුවල විරාට් කෝලි සහ අනුෂ්කා ෂර්මාගේ නවදිල්ලි අගනුවර පැවැත්වෙන ප්‍රියසාදයේ විශේෂ අමුත්තා වනු ඇත්තේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිය.

සාදය අද (21) සවස පැවැත්වෙයි. කෝලි සහ අනුෂ්කා සාදයට පැමිණෙන්නැයි ඉන්දීය අගමැති මෝදිට ආරාධනා කළේ ඊයේ (20) සවසය. තමා හමුවීමට පැමිණි නව යුවලට සුබ පැතීමට අගමැති මෝදි අමතක නොකළේය.

නව යුවල තමන් හමුවීමට පැමිණ තමන්ට ඇරැයුම් කළේ යැයි පවසමින් මෝදි ඉන්දීය ක්‍රිකට් නායක කෝලි සහ බොලිවුඞ් සුරූපිනී අනුෂ්කා ෂර්මාගේ ඡායාරූප ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රසිද්ධියට පත් කර තිබේ.

අනුෂ්කා සහ කෝලිගේ විවාහ මංගල උත්සවය හින්දු චාරිත්‍රාණුකූලව පැවැත්වූයේ පසුගිය 11 වැනිදා ඉතාලියේ මිලාන් නුවරය. එය ඉතා චාමෙට පැවැත් වූ මංගල උත්සවයක් වුණු අතර, පවුලේ ඥාතීහු කිහිප දෙනෙක් පමණක් ඊට සහභාගී වූහ.

අනුෂ්කා සහ කෝලී ක්‍රිකට් ක්‍රීඩකයන් වෙනුවෙන් සහ බොලිවුඞ් නළු නිළියන් වෙනුවෙන් ප්‍රියසාද දෙකක් පවත්වයි. අද නවදිල්ලියේදී පැවැත්වෙන්නේ පළමු සාදයයි. ඒ, කෝලිගේ ක්‍රිකට් ක්‍රීඩකයන්, මිතුරන් සහ ඉන්දීය මැතිඇමැතිවරුන් ඇතුළු සම්භාවනීය පුද්ගලයන් වෙනුවෙනි.

අනුෂ්කා ෂර්මාගේ මිතුරු මිතුරියන් සහ බොලිවුඞ් නළු නිළියන් වෙනුවෙන් සාදය පැවැත්වෙන්නේ මුම්බායි නුවරය. ඒ, නත්තල් දිනයට පසුදා එනම් 26 වැනිදාය. ෂාරුක් ඛාන් ද ඇතුළු බොලිවුඞ් සුපිරි නළු නිළියෝ මෙම සාදයට සහභාගී වෙති.

(එන්.ඩී.ටීවී.)

 


RECOMMEND POSTS