‘ෆයිසර්’ එන්නත හිතුවට වඩා සාර්ථකයි



ඊශ්‍රායල වැසියන්ට ලබා දෙන ඇමෙරිකාවේ ‘ෆයිසර්’ ප්‍රතිශක්තිකරණ එන්නත ඉතා සාර්ථක යැයි පැවැසෙයි. ඊශ්‍රායල සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන අන්දමට, ‘ෆයිසර්’ එන්නත සියයට 98 ක සාර්ථකත්වයක් පෙන්නුම් කර තිබේ.

ඊශ්‍රායල වැසියන්ගෙන් අඩකට, මේ වනවිට ‘ෆයිසර්’ එන්නතේ මාත්‍රා දෙකම ලබා දී අවසන් යැයි සෞඛ්‍ය බලධාරීහු පවසති. ඊශ්‍රායලයේ ජනගහනය මිලියන 9 කි. එන්නත හේතුවෙන් ආසාදිතයන් හමුවීම දිනෙන් දින අඩුවන බව සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.
ඒ අනුව, රජය පනවා තිබූ තහංචි අද (22) සිට ඉවත් කෙරේ. අවන්හල්, කඩ සාප්පු, පුස්තකාල, කෞතුකාගාර, ශරීර සුවතා මධ්‍යස්ථාන විවෘත කෙරුණේ මුහුණු ආවරණ සහ සමාජ දුරස්ථභාවය අනිවාර්ය බව පවසමිනි.

ඊශ්‍රායලය ‘කොවිඩ් 19’ වයිරසයෙන් දරුණු ලෙස බැට කෑවේය. ඊශ්‍රායලයෙන් වාර්තා වන ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන 7,40,000 ක් වන අතර, මරණ ගණන 5,500 කි. ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් අනුව ක්‍රියාත්මක වී, රට තෙවරක් මුළුමනින්ම වසා දැම්මේය.

‘ෆයිසර්’ එන්නත නිපදවීම සිදුවන්නේ ඇමෙරිකාවේ ‘ෆයිසර්’ සමාගම සහ ජර්මනියේ ‘බයෝ ඇන්ටෙක්’ සමාගමේ එකමුතුවෙනි. ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙතන්යාහු සහ ඇමෙරිකාව අතර සමීප මිතුදම් පවතින බැවින්, ‘ෆයිසර්’ එන්නත් කඩිනමින් මිලදී ගැනීමට හැකියාව ඊශ්‍රායල රජයට හිමිවිය. ඊශ්‍රායල වැසියන්ට එන්නත ලබා දීමට පෙර, එය පළමුවෙන් ලබා ගත්තේ අග්‍රාමාත්‍ය නෙතන්යාහුය. ඒ, එය ආරක්ෂිත බව ජනතාවට තහවුරු කරමිණි.

ටෙල් අවීව්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS