‘ඔපෙක්’ සංවිධානයෙන් ඉවත් වෙනවා



ලොව තෙල් අපනයන රටවල එකමුතුව හෙවත් ‘ඔපෙක්’ සංවිධානයෙන් ඉවත් වීමට කටාර් රාජ්‍යය තීරණය කර ඇත.

මේ බව ඊයේ (3) මාධ්‍ය හමුවේ නිවේදනය කළේ එරට බලශක්ති ඇමැති සාද් අල් කාබීය. ඇමැතිවරයා කියා සිටියේ, ලබන 2019 වසරේ ජනවාරියේ සිට කටාරය ඔපෙක් සාමාජිකත්වයෙන් ඉවත් වනු ඇති බවය.

තෙල් අපනනයනය අතින් කටාර් රාජ්‍යය ඔපෙක් සංවිධානයට සම්බන්ධ ඉතා කුඩා රාජ්‍යයකි. කෙසේ නමුත් ස්වභාවික වායු අපනයනය සම්බන්ධයෙන් ලොව ඉහළින්ම සිටින රාජ්‍යයක් වන්නේ කටාරයයි.

ස්වභාවික වායු අපනයන කටයුතුවලට ප්‍රමුඛත්වයක් දෙමින්, එම කටයුතු කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට කටාරය තීරණය කර ඇති බවත්, එහෙයින් ඔපෙක් සංවිධානයෙන් තමන් ඉවත් වීමට තීරණය කළ බවත් කටාර් බලශක්ති ඇමැතිවරයා පැහැදිලි කර තිබේ.

ඔපෙක් සංවිධානය පිහිටුවනු ලැබුවේ 1960 වසරේ ඉරාකයේ බැග්ඩෑඞ් අගනුවරදීය. ඒ සඳහා පුරෝගාමීන් වූ ප්‍රධාන රටවල් පහ වන්නේ ඉරානය, ඉරාකය, කුවේටය, සෞදි අරාබිය සහ වෙනිසියුලාවය. අද වනවිට ඔපෙක් සංවිධානයට තවත් රටවල් 15 ක් එක් සිටී. ලොව තෙල් මිල තීරණය කරනුයේ ද ඔපෙක් සංවිධානයයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS