හොස්නි මුබාරක් නිදහස්



හිටපු ඊජිප්තු ජනාධිපති හොස්නි මුබාරක් වසර හයකට පසු ඊයේ (24) නිදහස ලැබීය.

ඊජිප්තුවේ හිටපු ජනාධිපති මුබාරක් වසර හයක් රැඳවුම්භාරයේ සිටි අතර දකුණුදිග කයිරෝවේ හමුදා රෝහලක ප්‍රතිකාර ලබමින් රැඳවුම්භාරයේ සිටි අතර ඔහු රෝහලෙන් පිටත්ව හෙලියෝපොලිස් පිහිටි නිවසට ගිය බව ඔහුගේ නීතිඥවරයා පැවැසීය.

ඊජිප්තු හිටපු ජනාධිපතිවරයාට 2011 වසරේදී පැවැති ආණ්ඩු විරෝධී උද්ඝෝෂණවලට සහභාගී වූ පිරිස් මරා දැමූ බවට චෝදනා එල්ල වූ අතර ඉහළ අභියාචනාධිකරණයක් පසුගිය මාසයේදී ඔහු එම චෝදනාවලින් නිදහස් කරන ලදි.

ඊජිප්තුවේ ටෝරා බන්ධනාගාරයෙන් මාරු කළ පසු හිටපු ජනාධපතිවරයා 2013 වසරේ සිට මාදි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය.
උද්ඝෝෂකයන් මරා දැමීමේ චෝදනාවලට වරදරකරු කරමින් හිටපු ජනාධිපති මුබාරක්ට 2012 වසරේදී ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම විය.

ඉන් අනතුරුව 2015 නැවත නඩු විභාගයක් පැවැත්වුණු අතර එහිදි හිටපු ජනාධිපතිවරයා රැඳවුම්භාරයෙන් නිදහස් කළ හැකියි යනුවෙන් තීන්දු කෙරිණි. කෙසේ නමුත් එවැනි තීන්දුවකින් ජනතා විරෝධයක් හට ගනු ඇතැයි බියෙන් වත්මන් ඊජිප්තු ජනාධිපති අබ්දුල් ෆාටා අල් සිසිගේ ආණ්ඩුව හිටපු ජනාධිපතිවරයා නිදහස් කිරීමට මැලිවිය.

වත්මන් ජනාධිපති අල් සිසි හිටපු ජනාධිපති මුබාරක්ගේ බුද්ධි අංශ ප්‍රධානියා වශයෙන් කටයුතු කළ අතර හමුදා කුමන්ත්‍රණයකින් 2013 වසරේදී බලයට පත්වූයේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස මැතිවරණයකින් තේරී පත්වූ පළමු ජනාධිපති මොහොමඞ් මෝර්සි බලයෙන් පහ කරමිනි.

හොස්නි මුබාරක් 1981 වසරේ සිට 2011 වසර දක්වා ඊජිප්තුවේ ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළේය.

හර්ෂණ තුෂාර සිල්වා
(රොයිටර්)


RECOMMEND POSTS