හොඳහිත තරවෙයි



ඉරානයට එරෙහිව සම්බාධක පනවද්දී, තුර්කියට එරෙහිව පනවා තිබුණු සම්බාධක ඉවත් කිරීමට ට්‍රම්ප් පරිපාලනය කටයුත කර තිබේ. ඒ අනුව ඇමෙරිකාව සහ තුර්කිය අතර යහපත් සබඳතා යළි ශක්තිමත් වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ඇමෙරිකාව සහ තුර්කිය අතර පසුගිය කාලයේ මත ගැටුම් පැවැතිණි. ඊට හේතු වූයේ තුර්කියේ සිටිද්දී, ඇමෙරිකන් ජාතික පාදිලිවරයකු වන ඇන්ඩෘ බ්‍රන්සන් තුර්කි රජය විසින් අත්අඩංගුවට ගැනීමේ සිදුවීමය.

2016 වසරේ, තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් බලයෙන් නෙරපා දැමීමට හමුදා කුමන්ත්‍රණයක් ආරම්භ විය. එම කුමන්ත්‍රණය ආරම්භයේ දීම අසාර්ථක වූයේ තුර්කි වැසියන්, ජනපතිට සහාය පළ කරමින් හමුදාවට එරෙහි වුණු නිසාය.

ජනපතිවරයාට එරෙහිව කුමන්ත්‍රණය කළේ යැයි ඇන්ඩෘ බ්‍රන්සන්ට චෝදනා එල්ල වුණු අතර, එම චෝදනා මත ඔහු අත්අඩංගුවට ගැනීම සිදුවිය.

පාදිලිවරයාට නිදහස් කරන්නැයි ඇමෙරිකාව තුර්කියට බල කළත්, තුර්කිය ඊට කන් දුන්නේ නැත. ඒ අනුව, තුර්කි රජයට එරෙහිව ඇමෙරිකාව සම්බාධක පැනැවීය. සම්බාධක හේතුවෙන් තුර්කි ඇමැතිවරුන්ට විදෙස් ගමන් බිමන් පවා තහනම් විය.

පසුගිය ඔක්තෝබරයේ දී, ඇන්ඩෘ බ්‍රන්සන්ට නිදහස ලැබුණු අතර, ඔහු යළි ඇමෙරිකාව බලා ගියේය. ධවල මන්දිරයේ දී ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් හමුවීමෙන් පසු, ට්‍රම්ප්ට ආශිර්වාද කිරීමට පවා පාදිලිවරයා කටයුතු කළේය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS