හිස්බුල්ලා මැදපෙරදිගට පිළිලයක්



ලෙබනන්යේ හිස්බුල්ලා ෂියා මුස්ලිම් සටන්කාමී සංවිධානය දරුණු ත්‍රස්තවාදී සංවිධානයක් බවත්, ඔවුන් මැදපෙරදිග කලාපයට පිළිලයක් බවත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කියයි.

ඇමෙරිකා ජනාධිපතිවරයා මේ අයුරින් හිස්බුල්ලා සංවිධානය විවේචනය කළේ ලෙබනන් අගමැති සාද් හරීරි හමුවීමෙන් පසු, දෙදෙනා එක් වී මාධ්‍ය හමුවක් පැවැත් වූ අවස්ථාවේදීය.

ලෙබනන් අගමැති සාද් හරීරි මේ වනවිට ඇමෙරිකාවේ නිල සංචාරයකට එක් වී සිටී. ඒ, ඇමෙරිකාව සමඟ යහපත් සබඳතා ඇති කර ගැනීමේ අරමුණින්ය.

ෂියා මුස්ලිම් රාජ්‍යයක් වන ඉරානය සමඟ සමීප සබඳතා පවත්වන ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය ලෙබනන් රජයට තර්ජනයක් බව ද අගමැති හරීරිට ජනපති ට්‍රම්ප් පෙන්වා දුන්නේය.

සිරියාවේ අර්බුදයට ද හිස්බුල්ලා සටන්කාමී සංවිධානය සම්බන්ධ වී සිටී. ඒ, සිරියානු රජයට සහ ජනාධිපති අසාද්ට සහාය පළ කරමිණි. හිස්බුල්ලා සංවිධානයට අවි ආයුධ ලබා දීම සිදු කරන්නේ ඉරානය යැයි ට්‍රම්ප්ගෙන් චෝදනා එල්ල වී ඇත.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS