හිටපු ජනපති මොර්සි නඩු විභාගය මැද මියයයි



ඊජිප්තුවේ හිටපු ජනපති මොහොමද් මොර්සි, සිය නඩු විභාගය අතරතුරේ මියගිය බව ඊජිප්තු මාධ්‍ය වාර්තා කරයි.

67 හැවිරිදි හිටපු ජනපති මොර්සි, කටාර් රාජ්‍යය වෙනුවෙන් ඔත්තු බැලීමේ කටයුතුවල නියැලුණා යැයි චෝදනා එල්ල වී ඇත. ඊයේ (17) කයිරෝ අධිකරණයේ පැවැත්වූයේ එම චෝදනා සම්බන්ධයෙන් නඩු විභාගයයි.

මොර්සි වරදකරු යැයි විනිසුරු මඬුල්ල තීරණය කළ අතර, එම අවස්ථාවේදී මොර්සි විත්ති කූඩුව තුළ සිහිසුන්ව ඇද වැටුණු බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ඒ, සවස 4.50 ටය.

බන්ධනාගාර නිලධාරීන් වහා මොර්සි කයිරෝ රෝහලට ඇතුළත් කළ ද ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බව වෛද්‍යවරු පසුව පැවැසූහ. මොර්සි සිහිසුන්ව ඇදවැටී ඇත්තේ හෘදයාබාධයකට ලක්වීමෙන් බව ඔවුහු පසුව පැවැසූහ.

මොහොමද් මොර්සි යනු දීර්ඝ කාලයක් ඊජිප්තුව පාලනය කරමින් ඒකාධිපති පාලන රටාවක් අනුගමනය කර හොස්නි මුබාරක්ගෙන් පසු ඊජිප්තුවේ ජනපති ධුරයට පත් ජනාධිපතිවරයාය. බටහිර රටවල් විසින් ‘අරාබි වසන්තය’ යනුවෙන් හැඳින්වූ විරෝධතා 2010 සහ 2011 වන විට ඊජිප්තුවේ පැතිරෙන්න විය. එම විරෝධතා හේතුවෙන් වසර 30 කට ආසන්න කාලයක් ඊජිප්තුවේ පාලනයා වූ හොස්නි මුබාරක්ට ජනාධිපති ධුරයෙන් සමු ගැනීමට සිදුවිය. මුබාරක් සහ ඔහුගේ පුතුන්ට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, ඒවා සම්බන්ධයෙන් ද මේ වනවිටත් නඩු විභාග පැවැත්වෙයි.

ජනතා විරෝධය මැද මුබාරක්, බලයෙන් ඉවත් වූයේ විශේෂ හමුදා පාලක මණ්ඩලයකට බලය පවරමිනි. ඉන්පසු මුබාරක් විසින් මර්දනය කරනු ලැබ තිබුණු ‘මුස්ලිම් සහෝදරත්වය’ නමැති දේශපාලන කණ්ඩායම එක් ජනතාව සමඟ එක් වෙමින්, ඊජිප්තුවේ ජනාධිපතිවරණයක් පැවැත්වීය.

2012 වසරේ පැවැති එම ජනාධිපතිවරණය ඊජිප්තුවේ පළමු නිදහස් හා සාධාරණ මෙන්ම, පළමු ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය ද වෙයි. ‘මුස්ලිම් සහෝදරත්වය’ පක්ෂයට නායකත්වය දෙමින් මොර්සි ඊජිප්තුවේ ජනාධිපති ධුරයට පත් විය. එම වසරේ ජනපති මොර්සි ඇමෙරිකාවේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගී වී සැසිය ද ඇමතුවේය.

කෙසේ නමුත් මොර්සිගේ ජනපති ධුරය එක් වසරක් සහ මාස කීපයකට පමණක් සීමා විය. මොර්සි සහ ඔහුගේ මුස්ලිම් සහෝදරත්වයට ජනතා විරෝධයක් එල්ල වූයේ මොර්සි ද හොස්නි මුබාරක්ගේ අඩිපාරේ යන බවටත් ඒකාධිපති පාලන රටාවක් අනුගමනය කරන බවටත් චෝදනා එල්ල වීමෙනි. මොර්සිට එරෙහිව ද ඊජිප්තුව පුරා විරෝධතා හටගත්තේය.

කයිරෝ නුවර ජනාධිපති මන්දිරය ඉදිරිපිට විරෝධතා පැවැත්වූ විරෝධතාකරුවන්ට පොලිසිය වෙඩි තැබුවේ මෙම අවස්ථාවේදීය. එම වෙඩි තැබීම කළේ ජනාධිපති මොර්සිගේ අණ පරිදි යැයි චෝදනා එල්ල විය. මොර්සිට එරෙහි විරෝධතා උත්සන්න වූ අතර, ඊජිප්තුව මුළුමනින්ම අස්ථාවර විය.

මෙම අවස්ථාවේ හොස්නි මුබාරක් බලයෙන් ඉවත් වෙද්දී බලය පවරා දුන් හමුදා පාලක මණ්ඩලය සහ හමුදාපති ලෙස කටයුතු කළ අබ්දෙල් ෆාටා අල් සීසී, හමුදා කුමන්ත්‍රණයකින් ඊජිප්තුවේ බලය අල්ලා ගත් අතර, ජනපති මොර්සි අත්අඩංගුවට ගත්තේය. ඒ අනුව, 2013 වසරේ ජූලි මාසයේ සිට මේ දක්වා පසුගිය වසර 6 පුරාවට මොර්සි කයිරෝ කයිරෝ බන්ධනාගාරයේ වධ බන්ධනයන්ට ලක් කෙරුණි.

2012 වසරේ විරෝධතාකරුවන්ට වෙඩි තැබීමට පොලිසියට අණ දීම සහ ඊජිප්තුවේ රහස් කටාර් රාජ්‍යයට දෙමින්, කටාර් රාජ්‍යය වෙනුවෙන් ඔත්තු බැලූ බවට ද මොර්සිට චෝදනා එල්ල වී ඇත.

මියයන අවස්ථාවේදී තවත් චෝදනා ගණනාවක් සම්බන්ධයෙන් නඩු විභාග හයක් මොර්සිට එරෙහිව පැවැත්වෙමින් තිබුණි. 2012 විරෝධතාකරුවන් මරා දැමීමට අණදීම සම්බන්ධයෙන් වසර 20 ක සිර දඬුවමක් මොර්සිට හිමිවී තිබුණි. කටාර් රාජ්‍යයට වෙනුවෙන් ඔත්තු බැලීමේ චෝදනා සම්බන්ධයෙන් මොර්සිට ජීවිතාන්ත සිරදඬුවමක් ද නියම වී තිබුණි.

වසර 6 ක් බන්ධනාගාරගතව සිටිද්දී මොර්සිට ඔහුගේ පවුලේ අය හමුවන්න ඉඩ ලැබී ඇතැයි පැවැසෙන්නේ අවස්ථා 3 කදී පමණි. 2013 නොවැම්බරයේ මොර්සිගේ බිරිඳට පමණක් මොර්සි හමුවන්න ඉඩ ලැබී ඇති අතර, 2017 මොර්සිගේ බිරිඳටත් එක් දියණියකටත් මොර්සි හමුවන්න අවසර ලැබුණි.

2018 සැප්තැම්බරයේ දී මොර්සිගේ බිරිටත් දරුවන් සැමටත් මොර්සි බැලීමට අවස්ථාවක් ලැබුණි. මොර්සිට දරු දැරියන් 5 කි. දරුවන් පස් දෙනාගෙන් දෙදෙනකු උපත ලබා ඇත්තේ ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේය. මොර්සිට මුණුබුරු මිණිබිරියෝ තුනකි.

පාකිස්තාන රජයේ විද්‍යා සහ තාක්ෂණ විශ්ව විද්‍යාලයෙන් මොර්සිට ගෞරව ආචාර්ය උපාධියක් හිමිවී ඇත.
මොර්සි අත්අඩංගුවට ගනිමින්, බලය අල්ලා ගත් හමුදාපති අල් සීසී, ඊජිප්තුවේ ජනාධිපතිවරයා විය. වර්තමානයේ ජනාධිපති ධුරය හොබවන්නේ ද අල් සීසීය. අද වනවිට අල් සීසී හමුදා ධුරය අතහැර සිවිල් ජනපතිවරයකු ලෙස රටට නායකත්වය දෙයි. අල් සීසීගේ දෙවැනි ධුර කාලය ද ආරම්භ වී ඇති අතර, එය වසර 2030 තෙක් දීර්ඝ කර ගැනීමට අල් සීසී ඊජිප්තු ව්‍යවස්ථාව පවා වෙනස් කරගෙන ඇත.

මොර්සි අත්අඩංගුවට ගැනීමත් සමඟ මුස්ලිම් සහෝදරත්වය පක්ෂය ද ඊජිප්තුවේ තහනම් කෙරුණි. මුස්ලිම් සහෝදරත්වය පක්ෂයට සම්බන්ධ නායකයන්ට මරණ දඬුවම ලබා දුන් අතර, පක්ෂ ක්‍රියාකාරීන් බොහොමයකට ජීවීතාන්ත සිරදඬුවම් හිමි විය.

කයිරෝහිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS