හැමෝටම දඬුවම් දෙන්න ඕනෑ
සෞදි මාධ්‍යවේදී ජමාල් කශොග්ජී ඝාතනයට සම්බන්ධ සියලුම දෙනාට, තරාතිරම නොබලා දැඩි දඬුවම් ලබා දීම කළ යුතු යැයි සෞදියේ රියාද් නුවර සංචාරයක යෙදෙන ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ සෞදියේ සල්මාන් රජුට පමණක් නොව, ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් කුමරුන්ට ද අවධාරණය කර ඇත.
ජමාල් කශොග්ජී සෞදි ජාතිකයකු පමණක් නොව, ඇමෙරිකන් පුරවැසියකු ද විය. පසුගිය ඔක්තෝබර් දෙවැනි දා, කශොග්ජී ඝාතනය වූයේ තුර්කියේ ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයේදීය.
මාධ්‍යවේදියකු ලෙස කශොග්ජී නිර්දය ලෙස සල්මාන් කුමරු විවේචනය කළ අයෙක් විය. සල්මාන් කුමරුන්ගේ අනුදැනුම සහ උපදෙස් පරිදි කාශොග්ජී ඝාතනය කෙරුණු බවට චෝදනා එල්ල වී ඇත. ඝාතනයට අදාල සෞදි ජාතිකයන් 17 දෙනකු සෞදි රජය විසින් අත්අඩංගුවට ගනු ලැබ අධිකරණය හමුවට ද ඉදිරිපත් කර ඇත.
ජමාල් කශොග්ජී ඝාතනයට සල්මාන් කුමරුන්ගේ කිසිදු සම්බන්ධයක් නැති බව සෞදි රජය පවසා ඇත. ඇමෙරිකන් සී.අයි.ඒ. බුද්ධි අංශය ද පෙන්වා දී ඇත්තේ ඝාතනය පසුපස සල්මාන් කුමරුන් සිටින බවය.
ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ පසුගිය දා සෞදිය බලා පැමිණියේ මැදපෙරදිග සංචාරයක නියැලෙමින් කටාර් රාජ්‍යයේ සංචාරය කිරීමෙන් පසුවය. රියාද් බලා පැමිණි ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයාට සෞදියේ සල්මාන් රජුගෙන් ලැබුණේ උණුසුම් පිළිගැනීමකි.
(ඒ.එෆ්.පී.)