හවුති කැරැලිකරුවෝ සෞදියට පහර දෙති



යේමනයේ හවුති කැරලිකරුවන් විසින් සෞදි අරාබිය වෙත එල්ල කරනු ලැබූ මිසයිල හතක් විනාශ කර දැමූ බව සෞදි ආරක්ෂක හමුදා පවසයි.

එයින් මිසයිල තුනක් රියාද් නගරය ඉලක්ක කරමින් එල්ල කර තිබෙන අතර, එහි කැබලි රියාද් ආශ්‍රිත ප්‍රදේශවලට පතිත වූ අවස්ථාවේ එක් පුද්ගලයෙකු මියගිය බව බලධාරීහු පවසති. සෞදි අරාබිය ප්‍රධානත්වය දරන සන්ධානය යේමනයේ සිවිල් යුද්ධයට මැදිහත් වී පසුගිය ඉරිදා දිනට තෙවසරක් පිරිණ.

රියාද් ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඇතුළු විවිධ ස්ථාන ඉලක්ක කරගෙන මිසයිල ප්‍රහාර එල්ල කළ බව හවුති කැරළිකරුවෝ පවසති. හවුති කැරලිකරුවන්ට මිසයිල ලබා දුන් බවට සෞදි අරාබිය ප්‍රධානත්වය දරන සන්ධානය ඉරානයට චෝදනා කරන නමුත්, ඉරානය එම චෝදනාව ප්‍රතික්‍ෂේප කරයි.

ඉරානයේ සහාය ලබන හවුති කණ්ඩායම වැනි හමුදා ක්‍රියාකාරකම්වල යෙදිය හැකි සන්නද්ධ කැරලිකරුවන්ට ඉරාන ආණ්ඩුවේ සහාය දිගටම ලැබෙන බව මේ කලහකාරී සහ සතුරු ක්‍රියාවෙන් ඔප්පු වෙනවා," යනුවෙන් සන්ධානයේ මාධ්‍යය ප්‍රකාශක ටුර්කි අල්-මල්කි පැවසුවේය.

"නගර ඉලක්ක කරගෙන බැලිස්ටික් මිසයිල කිහිපයක් එල්ල කිරීම පැහැදිලිවම බරපතල වර්ධනයක්," ඔහු වැඩිදුරටත් පැවසුවේය.

රියාද් නගරයේ පිපුරුම් හඬ අසන්නට ලැබුන බවත්, දුමාරය මතුවනු දුටු බවත් ඇසින් දුටුවෝ පවසති. රටේ දකුණු ප්‍රදේශයේ පිහිටි කාමිස් මුෂයිත් (Khamis Mushait) ජිසාන් (Jizan) සහ නජ්රාන් (Najran) යන නගරවලට ද මිසයිල එල්ල වී ඇති බව SPA පුවත් ආයතනය වාර්තා කර සිටියි. පසුගිය මාස කීපය ඇතුළත හවුති කැරළිකරුවෝ සෞදි අරාබියට විශාල මිසයිල ප්‍රමාණයක් එල්ල කළහ.

යේමන ආණ්ඩුවට සහ සෞදිය ප්‍රධානත්වය දරන සන්ධානයට එරෙහිව 2015 මාර්තු මස සිට යුද වදින හවුති කැරළිකරුවන් සන්නද්ධ කිරීම පිළිබඳ එල්ල වන චෝදනා ඉරානය ප්‍රතික්ෂේප කරයි.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS