හරීරි ප්‍රංශ ජනපති හමුවෙයි



ධුරයෙන් ඉල්ලා අස්වුණු ලෙබනන් අගමැති සාද් හරීරි සහ ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් අතර හමුවක් පැවැත්විණි.

හමුව පැවැත් වූයේ හරීරි, ප්‍රංශ ජනාධිපති මන්දිරය හෙවත් ඉලීසේ මාලිගයට පැමිණි අවස්ථාවේදීය. හරීරි සමඟ ඔහුගේ බිරිය ලාරා බැචීර් එල් අල්සාම් සහ පුතු හවුසාම් ද ජනපති මන්දිරයට පැමිණියාහ.

ජනපති මැක්රොන් සහ බිරියගෙන් උණුසුම් පිළිගැනීමක් ඔවුන්ට හිමිවිය. මැක්රොන් සහ හරීරි අතරේ සමීප මිතුදම් පවතී. හරීරි, මෙසේ ප්‍රංශයට පැමිණියේ ජනපති මැක්රොන්ගේ ආරාධනාවක් පිළිගනිමිනි.

හරීරි සහ මැක්රොන් අතරේ දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්විණි. එම සාකච්ඡාවලින් පසු මාධ්‍ය හමුවේ අදහස් දැක්වීමට හරීරි කටයුතු කළේය.  ලෙබනනයේ නිදහස් දිනය ලබන බදාදා (22) ට යෙදී ඇති අතර, එදින තමා යළි ලෙබනනයට යනවා යැයි හරීරි කියා සිටියේය.

හරීරි ලෙබනන් අගමැති ධුරයෙන් ඉල්ලා අස්වූයේ පසුගිය 4 වැනි දා මහත් ආන්දෝලනයක් ද ඇති කරමිණි. ඉල්ලා අස්වන බව හරීරි නිවේදනය කළේ සෞදියේ සංචාරයකට ගොස් සිටිද්දීය.

තමන්ට මරණ තර්ජන එල්ල වන බවත්, එසේ තර්ජන එල්ල වන්නේ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයෙන් සහ ඉරානයෙන් බවත් හරීරි පවසා තිබේ.

ලෙබනන් හිස්බුල්ලා සංවිධානයත්, එරට ජනපතිවරයාත් පවසා ඇත්තේ සෞදියේ බලපෑම මැද හරීරි ධුරයෙන් ඉවත් වුණු බවත්, ඔහු සෞදියේ සිරකරුවකු වී සිටින බවත්ය.

හරීරි යළි ලෙබනනයට යෑමට අදිමදි කරමින් සිටිද්දී, ප්‍රංශ ජනපති මැක්රොන් ඔහු සහ ඔහුගේ පවුලේ අයට ප්‍රංශයට පැමිණෙන්නැයි ඇරැයුම් කර තිබුණි. හරීරි පැරිසියට පැමිණියේ ඒ අනුවය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS