හමුදා පෙළපාළියට වෙඩි



ඉරාන විප්ලවීය හමුදාවේ පෙළපාළියකට එල්ල වුණු වෙඩි තැබීමකින් සොල්දාදුවන් ද ඇතුළු 24 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ 53 දෙනකු රෝහල් ගත කෙරුණි.

මියගිය සහ තුවාල ලැබූවන් අතර හමුදා සොල්දාදුවන් පමණක් නොව සිවිල් වැසියන් ද සිටින බව වාර්තා වේ. සිවිල් වැසියන්ගෙන් වැඩි දෙනා හමුදා පෙළපාළිය නැරැඹීමට පැමිණ සිටි කාන්තාවන් සහ කුඩා දරුවන්ය.

වෙඩි ප‍්‍රහාරය එල්ල වූයේ නිරිතදිග ඉරානයේ අෂ්වාස් නමැති නගරයේ පැවැත්වුණු හමුදා පෙළපාළියකටය. ප‍්‍රහාරය සඳහා තුවක්කුකරුවන් දෙදෙනකු පැමිණ ඇත.

හමුදා නිලධාරීන්, සෙබළුන් සහ පෙළපාළිය නරඹමින් සිටි පිරිසට මොවුන් දෙදෙනා ඉවක් බවක් නැතිව වෙඩි තැබූ බව සිද්ධිය දුටුවෝ පවසති. වඑහා කි‍්‍රයාත්මක වුණු ඉරාන හමුදා සොල්දාදුවන් පෙරළා මොවුන් දෙදෙනාට වෙඩි තබා ඇත. වෙඩි ප‍්‍රහාරයෙන් තුවක්කුකරුවන් දෙදෙනාම ජීවිතක්ෂයට පත් වුණු බව ද වාර්තා වේ.

ප‍්‍රහාරයෙන් මියගිය පිරිස අතර ඉරානයේ කුසෙස්තාන් ප‍්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා ද වෙයි.
ප‍්‍රහාරයේ වගකීම තවමත් කිසිදු සංවිධානයක් හෝ කණ්ඩායමක් හෝ බාරගෙන නැත. ඉරාන විප්ලවීය හමුදාව චෝදනා කරන්නේ ප‍්‍රහාරය එල්ල කළේ අෂ්වාසී බෙදුම්වාදීන් කියාය.

සුන්නි මුස්ලිම් අෂ්වාසී බෙදුම්වාදීන් කුසෙස්තාන් ප‍්‍රාන්තයේ බලය අල්ලා ගැනීමට ඉරාන රජය සහ රජෙයේ හමුදාව සමඟ ගැටුම් ඇතිකර ගනී. ඉරානයේ තෙල් සම්පත්වලින් බහුල පළාත ලෙස සැලකෙන්නේ කුසෙස්තාන් ප‍්‍රාන්තයයි.

අෂ්වාසී බෙදුම්වාදීන්ට සහාය ලබා දෙන්නේ සුන්නි මුස්ලිම් රාජ්‍යයක් වන සෞදි අරාබියයි. අයි.එස්.අයි.එස්. හෙවත් දයේෂ් තක්ෆීරි ත‍්‍රස්තයන්ගේ සහාය ද මෙම බෙදුම්වාදීන්ට හිමිවන බව ඉරාන බුද්ධි අංශ පවසා ඇත.

හමුදා පෙළපාළිය පැවැත්වූයේ ඉරාන ඉරාක යුද්ධයේ සැමරුමක් ලෙසය. ඉරානය සහ ඉරාකය අතර යුද්ධයක් පැවැතුණේ 1980 සිට 1988 තෙක් කාලයේය. එවකට ඉරාකයේ නායකයා වූයේ සදාම් හුසේන්ය.

(එන්.ඞී.ටීවී.)


RECOMMEND POSTS