හමාද් ගුවන්තොටුපොළ ස්මාර්ට් වෙයි



කටාරයේ හමාද් ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් ගුවන්ගත වන මගීන්ට ඉදිරියේ දී, ගුවන් යානාවලට ගොඩවීමට භාවිතා කෙරන අවසර පත්‍ර හෙවත් ‘බෝඩින් පාස්’ හෝ ගමන් බලපත්‍ර හෝ ගුවන්තොටුපොළ බලධාරීන්ට පෙන්වීමට අවශ්‍ය නොවනු ඇති බවත්, ඔවුන් කළ යුත්තේ මුහුණ පෙන්වා සිනාසීම පමණක් බවත් ‘ද පෙනින්සියුලා’ පුවත්පත වාර්තා කරයි.

ගුවන්ගත වීමේදී, ගුවන්තොටුපොළ තුළ ඒ ඒ අදාළ ස්ථානවලදී බෝඩින් පාස් හෝ ගමන් බලපත්‍ර හෝ පෙන්වීමක් අවශ්‍ය නැති ක්‍රමවේදයක් සකස් කිරීමට හමාද් ගුවන් තොටුපොළ බලධාරීන් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

හමාද් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සමඟ මෙම නව ක්‍රමවේදය සැකැසීමෙහිලා අත්වැල් බැඳගෙන සිටින්නේ ‘එස්.අයි.ටී.ඒ.’ තාක්ෂණ සේවා සැපැයුම් ආයතනයයි. ‘එස්.අයි.ටී.ඒ.’ ගෝලීය වශයෙන් බොහෝ දෙනාගේ අවධානය දිනා ගත්, කැපී පෙනෙන තාක්ෂණික සහාය ලබා දෙන ආයතනයකි.

නව තාක්ෂණික ක්‍රමවේද හඳුන්වා දීමේ අරමුණින්, හමාද් ගුවන්තොටුපොළ බලධාරීන් සහ ‘එස්.අයි.ටී.ඒ.’ ආයතනය අතර පසුගිය දා අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තැබුණි.

එම අවබෝධතා ගිවිසුම අත්සන් තැබුවේ හමාද් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී එන්ගර් බදාර් මොහොමද් අල් මීර් ය. ‘එස්.අයි.ටී.ඒ.’ ආයතනය වෙනුවෙන් එහි සභාපති හානී අල් අසාද් ගිවිසුමට අත්සන් තැබුවේය. මැදපෙරදිග කලාපයේ, ඉන්දියාවේ සහ අප්‍රිකාවේ ‘එස්.අයි.ටී.ඒ.’ ආයතන ප්‍රධානියා වන්නේ ද හානී අල් අසාද්ය.

හමාද් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තාක්ෂණික වශයෙන් දියුණු තත්ත්වයකට සහ උසස් තත්ත්වයකට පත් කිරීම මෙම අවබෝධතා ගිවිසුම හරහා සිදුවෙයි. ගුවන් තොටුපොළට පැමිණෙන සියලු මගීන්ගේ ජීවමිතික දත්ත රැස් කිරීම සිදුවෙයි. සියලු දෙනාගේ මුහුණු ස්කෑන් පරීක්ෂණ හරහා පරිගණක දත්ත ජාලයකට ඇතුළත් කෙරේ. ඒ අනුව මුහුණ දුටු සැණින්, පරිගණකය එම මගියා හඳුනා ගැණෙන අතර මගියාගේ සියලු විස්තර, ඔහු හෝ ඇය යන්නේ කුමන ගුවන් යානයේ කුමන ආසනයේ ද යන්න බලධාරීන්ට දැක ගැනීමට ඉඩ සලසා දෙයි.

මෙය ගුවන් තොටුපොළට පැමිණෙන මගීන්ට ද අලුත් අත්දැකීමක් වනු ඇතැයි ද පැවැසෙයි. එපමණක් නොව, මෙම ක්‍රමය මගීන්ට ඉතා පහසුවක් වනු ඇතැයි ද හමාද් ගුවන්තොටුපොළ බලධාරීහු පෙන්වා දෙති. ‘හමාද් ගුවන්තොටුපොළ සැමවිටම නවීකරණය වෙනවා. නවීන තාක්ෂණය යොදා ගැනීමට කටයුතු කරනවා මගීන්ගේ පහසුව වෙනුවෙන්. ඉදිරියේ දී හමාද් ගුවන්තොටුපොළ ලොව ‘ස්මාර් ගුවන්තොටුපොළ’ අතරට එක් වේවි යැයි හමාද් ගුවන්තොටුපොළ බලධාරීහු වැඩි දුරටත් පැහැදිලි කරති.

කටාර් හමාද් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ‘ස්මාර්ට් ගුවන්තොටුපොළක්’ බවට පත් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කෙරුණේ පසුගිය 2016 වසරේදීය. ඒ, කටාර් අගමැති මෙන්ම අභ්‍යන්තර කටයුතු ඇමැතිවරයා ලෙස ද කටයුතු කරන ෂෙයික් අබ්දුල්ලා බින් නසාර් බින් කලීෆා අල් තානීගේ සංකල්පයකට අනුවය.

(ද පෙනින්සියුලා)


RECOMMEND POSTS