හදිසියේම සෞදියේ



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ දෙදින සංචාරයකින් පසු ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් සෞදි අරාබියේ රියාද් නුවරට පැමිණියේය.

ප්‍රංශ ජනපති සෞදියේ රියාද් නුවර බලා පැමිණියේ පෙර දැනුම් දීමකින් තොරව යැයි ප්‍රංශ පුවත් සේවා වාර්තා කර තිබේ.

මැක්රොන් සෞදියට යෑමට තීරණය කර ඇත්තේ එක්සත් අරාබි එමීරේට්ස් රාජ්‍යයේ කළ සංචාරය අතරතුරේය. ඒ බව ඔහු දැනුම් දුන්නේ ඩුබායි නුවර පැවැති මාධ්‍ය හමුවේදීය.

ඒ අනුව, බිරිය ත්‍රොග්නෝව් ද සමඟ මැක්රොන් සෞදියේ රියාද් නුවර බලා පැමිණියේය. ප්‍රංශ ජනපතිවරයා රියාද් පැමිණි බව රියාද්හි පිහිටා ඇති ප්‍රංශ තානාපති කාර්යාලය ද නිවේදනය කර තිබේ.

හදිසි සංචාරයක් වුවත්, ප්‍රංශ ජනපතිවරයා උණුසුම් ලෙස පිළිගැනීමට සෞදි රජය කටයුතු යොදා තිබුණි. රියාද් නුවරට පැමිණීමෙන් පසු, ජනපති මැක්රොන් සෞදි රජ මාලිගයේ දී ඔටුන්න හිමි සල්මාන් කුමරු හමුවිය.

ද්වී පාර්ශ්වීක සබඳතා තර කර ගැනීමෙන් පසු, ඉරානය සහ යේමනය සම්බන්ධයෙන් ද සල්මාන් කුමරු සහ ප්‍රංශ ජනපතිවරයා අතරේ සාකච්ඡා කෙරුණි.

ඉරානය සහ සෞදිය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අවුල් වී ඇති අතර, දෙරට අතර හොඳහිත පළුඳු වී තිබේ. යේමන අර්බුදයේ දී සෞදිය සහාය පළ කරන්නේ, ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන් විසින් බලයෙන් නෙරපා දැමූ යේමන රජයටය.

හවුති සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් සෞදිය ගුවන් ප්‍රහාර එල්ල කරයි. හවුති සටන්කාමීන්, ඔවුන්ට සහාය දක්වන යේමන රජයේ හමුදාව ද සමඟ එක් වී, සෞදි ඉලක්ක වෙත පහර දෙයි.

මීට දින කීපයකට පෙර, රියාද් රාජකීය ගුවන්තොටුපොළ වෙත දිගු දුර බැලැස්ටික් මිසයිල දෙකක් විදිනු ලැබුවේ ද යේමන හවුති සටන්කාමීන් යැයි පැවැසෙයි.

සෞදි කිරුළේ මීළඟ උරුමකරු වන සල්මාන් කුමරු සෞදියට නව ප්‍රතිසංස්කරණ හඳුන්වා දී ඇත. එම ප්‍රතිසංස්කරණ ලබන 2018 වසරේ සිට ක්‍රියාත්මක වෙයි.

සල්මාන් කුමරු පවසා ඇත්තේ සෞදිය මින් ඉදිරියට ලෝකයට වඩාත් විවෘත වන බවත්, අන්තවාදයට සහ ත්‍රස්තවාදයට විරෝධය දක්වන ගමන්, මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත්ය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS