හදිසි මැතිවරණයකට යනවා



හදිසි මැතිවරණයකට යෑමට තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දෙවොන් තීරණය කළේය.

ඒ අනුව, ලබන වසරේ පැවැත්වීමට නියමිතව තිබුණු, තුර්කි පාර්ලිමේන්තු මැතිවරණය සහ ජනාධිපතිවරණය මෙම වසරේ ජූනි 24 වැනිදා පැවැත්වෙනු ඇත.

කෙසේ නමුත් තුර්කි මැතිවරණ කොමිසම තවමත් එම දිනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැතැයි ද වාර්තා වේ.

පාර්ලිමේන්තු මැතිවරණය මෙන්ම ජනාධිපතිවරණය ද පැවැත්වෙනු ඇත්තේ නව මැතිවරණ ක්‍රමයක් යටතේය. පාර්ලිමේන්තු මැතිවරණය සහ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත වූයේ ලබන 2019 වසරේ නොවැම්බර් මාසයේදීය.

ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇත්තේ ජනපතිවරයාට විධායක බලතල ලබා දීම සඳහාය. ජනාධිපති එර්දෙවොන් දිගටම ජනපති ධුරයේ රැඳී සිටීමට අපේක්ෂා කරන අතර, ජනපතිවරයාගේ ජනප්‍රියත්වය උරගා බලන මැතිවරණයක් ලෙස මෙය සැළකෙයි.

තුර්කිය හදිසි මැතිවරණයකට යන්නේ අර්බුද රැසක් මැදය. හමුදා ප්‍රධානීන් කිහිප දෙනකුගේ මැදිහත් වීමෙන්, 2016 වසරේ දී, තුර්කියේ හමුදා කුමන්ත්‍රණයක් සිදුවිය. කෙසේ නමුත් ජනාධිපති එර්දෙවොන්ට පක්ෂ තුර්කි වැසියෝ වීදි බැස හමුදාවට අභියෝග කිරීමත් සමඟ කුමන්ත්‍රණය අසාර්ථක විය.

අසාර්ථක වුණු කුමන්ත්‍රණයෙන් පසු තුර්කියේ තවමත් හදිසි නීතිය ක්‍රියාත්මක වෙයි. කුර්දි බෙදුම්වාදී ත්‍රස්තයන්ගෙන් තුර්කි රජයට තර්ජන එල්ල වෙමින් පවතී.

සිරියාවේ සාමය ස්ථාපිත කිරීමේ අරමුණින්, තුර්කිය සිරියානු අර්බුදයට ද මැදිහත් වී සිටී. ඒ, ඉරානය සහ රුසියාව සමඟ අත්වැල් බැඳ ගනිමිනි. සිරියාවේ කුර්දිවරුන්ගේ පාලනයට නතු ඇෆ්රින් පළාතේ සටන් මෙහෙයවීම සිදු කරන්නේ ද තුර්කියයි.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS