හජ් වන්දනාවට ‘මාස්ක්’ අනිවාර්යයි



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයෙන් වැළැකී සිටීමට, සෞදි සෞඛ්‍ය බලධාරීන් සෞදි වැසියන් වෙනුවෙන් නව සෞඛ්‍ය නීති හඳුන්වා දී ඇතැයි වාර්තා වේ.

සෞදි අරාබියෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් ගණන 209,509 ක් වන අතර සෞදියෙන් වාර්තා වන මරණ 2,000 ට ආසන්න යැයි පැවැසෙයි. සෞදි රජ පවුලේ බොහෝ දෙනකුට ‘කොවිඞ් 19’ වයිරසය ආසාදනය වී ඇතැයි ද පැවැසෙයි.

නව සෞඛ්‍ය නීති යටතේ සෞදි රජය පැනැවූ තහංචි ලිහිල් කරමින් රට විවෘත කර ඇත. හජ් වන්දනාව පැවැත්වීමට ද සෞදි රජය තීරණය කර ඇති අතර, හජ් වන්දනාව පැවැත්වෙන්නේ ලබන 28 වැනිදා සිට අගෝස්තු දෙවැනිදා තෙක් දින 5 ක් පමණි.

ලොව විශාලතම ජනතා ඒකරාශීවීමක් ලෙස, හජ් වන්දනාව සඳහා සෞදියේ මක්කම ශුද්ධ නගරයට එක්රොක් වන බැතිමතුන් සැලකිය හැකි වන නමුත්, මෙවර ‘කොවිඞ් 19’ වසංගතය හේතුවෙන්, හජ් වන්දනාවට සහභාගී කර ගන්නේ සෞදියේ සිටින 1,000 ක් පමණක් යැයි පැවැසෙයි.

මෙම 1,000 දෙනාට සෞදියේ සිටින වෙනත් රටවල මුස්ලිම් බැතිමතුන් කිහිප දෙනකු ද ඇතුළත් කර ගන්නා බව සෞදි රජය පවසා තිබේ. හජ් වන්දනාවට සහභාගී කර ගන්නා බැතිමතුන් අනිවාර්යයෙන් මුහුණු ආවරණ පැලැඳිය යුතුය.

හජ් වන්දනාවට පැමිණ මක්කම මහ පල්ලියට පැමිණෙන බැතිමතුන්ට වෙනදා මෙන් ‘කබා’ අති පූජනීය ස්මාරකය ස්පර්ශ කිරීමට පවා ඉඩ ලබා නොදෙන බව සෞදි සෞඛ්‍ය අංශ අවධාරණය කර තිබේ. මහ පල්ලියට ඇතුළත් විය හැක්කේ වෛද්‍ය පරීක්ෂණයකින් පසු උණ බැලීමෙනි.

මක්කමහිදීය (රොයිටර්)


RECOMMEND POSTS