හජ් වන්දනාව වළක්වලා



සෞදි අරාබිය තම වැසියන් හජ් වන්දනාවේ යෙදීම වළක්වා ඇතැයි කටාර් රාජ්‍යය චෝදනා කරයි.

එම චෝදනා ප්‍රතික්ෂේප කරන සෞදි අරාබිය දෙරට අතර තිබෙන රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය හේතු කරගෙන කිසිදු අවස්ථාවකදී කටාර් වැසියන් මක්කම වන්දනාවේ යෙදීම නැවැත්වූයේ නැතැයි සඳහන් කරයි.

කෝටා ක්‍රමවේදය අනුව කටාර් වැසියෝ 1,200ක් හජ් වන්දනාවේ යෙදීමට සුදුසුකම් ලබා සිටිති. එහෙත් හජ් වන්දනාවේ යෙදීමට බලපත්‍ර ලබාගැනීම අපහසු වී ඇතැයි කටාරය පවසයි. කටාරය ඒ සම්බන්ධයෙන් සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය සහ ඊජිප්තුවට චෝදනා කරයි.

සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය සහ ඊජිප්තුව සහ තවත් රටවල් කිහිපයක් කටාරය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සහ වෙළෙඳ සබඳතා නවතා දමා තිබේ.

හජ් වන්දනාවේ යෙදීම සඳහා බලපත්‍ර ලබාගැනීම වෙනුවෙන් සංචාරක ආයතන භාවිත කරන විද්‍යුත් පද්ධති වසා දැමීමට සෞදි අරාබිය කටයුතු කර ඇතැයි කටාරයේ ජාතික මානව හිමිකම් කමිටුවේ අබ්දුල්ලා අල් කාබී සඳහන් කළේය.

“මෙවර කටාර් පුරවැසියන්ට කටාර් රාජ්‍යයේ ජීවත්වන අනෙක් පිරිස්වලට හජ් වන්දනාවේ යෙදෙන්න බැහැ” යැයි ද හෙතෙම කීය.

සෞදි අරාබිය මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන අතර වන්දනාකරුවන්ට ලියාපදිංචි වීමට ස්ථාපිත කර තිබෙන ජාල කටාරය විසින්ම අවහිර කර ඇතැයි ද සඳහන් කරයි.

හර්ෂණ තුෂාර සිල්වා

(රොයිටර්)


RECOMMEND POSTS