හජ් වන්දනාකරුවන්ට අවසර



හජ් වන්දනාවට පැමිණෙන කටාර් වැසියන්ට සෞදියට ඇතුළුවීමට අවසර ලබා දෙන බව සෞදියේ සල්මාන් රජු  විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

සෞදි රජුගේ අණ පරිදි සෞදි කටාර් දේශසීමාවේ එක් පිවිසුමක් විවෘත කර ඇත. සෞදි රජය පවසා ඇත්තේ කටාරයෙන් පැමිණෙන හජ් වන්දනාකරුවන් වෙනුවෙන් විවෘත කර තැබෙන්නේ සෞදි කටාර් දේශසීමාවේ සල්වා නමැති පිවිසුම කියාය. සෞදිය සහ කටාරය අසල්වැසි රාජ්‍යයන්ය.

ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන බවටත්, අන්තවාදයට උඩගෙඩි දෙන බවටත් කටාර් රාජ්‍යයට චෝදනා කරමින්, කටාරය සමඟ සියලු සබඳතා අත්හැර දැමීමට සෞදිය තීරණය කළේ පසුගිය ජූනි 5 වැනිදාය. සෞදියට සහාය දක්වමින්, ඊජිප්තුව, බහරේනය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද කටාර් රාජ්‍යය සමඟ සියලුම සබඳතා අත්හිටුවා දැම්මේය. ඒ අනුව, කටාර් රාජ්‍යය ගල්ෆ් කලාපයේ හුදෙකලා විය. එසේ හුදෙකලා වීමෙන් පසු, සෞදිය සහ කටාරය අතර යහපත් සබඳතා ආරම්භ වුණු පළමු අවස්ථාව මෙය වෙයි.

දේශසීමා හරහා පමණක් නොව, විදේශවල සිට හජ් වන්දනාව සඳහා මක්කම නුවර බලා පැමිණෙන කටාර් වැසියන් වෙනුවෙන් ද සෞදියේ ගුවන්තොටුපොළ විවෘතව තැබෙන බව ද සෞදි රජු පවසා ඇත.

කටාරය ගල්ෆ් කලාපයේ හුදෙකලා කිරීමට පියවර ගැනීම හරහා, හජ් වන්දනාව කටාර් වැසියන්ට අහිමි කිරීමට සෞදිය කටයුතු කරන්නේ නම් එය කටාර් වැසියන්ගේ මූලික අයිතිය කඩ කිරීමක් බවට කටාර් මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන සෞදියට චෝදනා කර තිබුණි. මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තරයෙන් ද සෞදියට බලපෑම් එල්ල විය.

සෞදියේ සල්මාන් රජු මෙන්ම ඔහුගේ පුතු ඔටුන්න හිමි කුමරා ද වන මොහොමද් බින් සල්මාන් කුමරු ද ඒකමතිකව තීරණය කර ඇත්තේ කටාර් වැසියන්ට හජ් වන්දනාව සඳහා මක්කම බලා පැමිණීමට ඉඩ ලබා දිය යුතු බවය.

පසුගිය දා සෞදි ඔටුන්න හිමි කුමරු මොහොමද්බින් සල්මාන් සහ කටාර් පාලක ෂෙයික් අබ්දුල්ලා අල් තානි අතරේ කටාර් අර්බුදය සම්බන්ධයෙන් සහ කටාර් වැසියන්ගේ හජ් වන්දනා කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්විණි. එහිදී, දෙරට අතර පළුදු වුණු සබඳතා යහපත් බවට පත් කිරීමට සල්මාන් කුමරු සහ කටාර් පාලක අල් තානී කැමැත්ත පළ කළ බව ද වාර්තා වේ.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS