සෞදියේ සල්මාන් කුමරු පුල්වාමා ප්‍රහාරය හෙලා දකී



ඉන්දීය සංචාරය අතරතුර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ එක් වී, පැවැත් වූ විශේෂ මාධ්‍ය හමුවේදී, ඉන්දු කාශ්මීරයේ පුල්වාමා දිස්ත්‍රික්කයේ දී පසුගිය 14 වැනිදා, ඉන්දීය ආරක්ෂක අංශ සාමාජිකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය දැඩි ලෙස හෙලා දැකීමට සෞදියේ මොහොමද් බින් සල්මාන් කුමරු පියවර ගත්තේය.

සෞදි කුමරු ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට පැමිණියේ ආසියා සංචාරයක නියැලෙන අතරතුරේය. ඉන්දියාවට පැමිණීමට පෙර, කුමරු පාකිස්තානයට ද ගියේය.

ඉන්දීය අගමැති මෝදි හමුවී සාකච්ඡා කිරීමෙන් පසු සල්මාන් කුමරුන් පවසා ඇත්තේ ඉන්දියාව සහ පාකිස්තානය අතර නිර්මාණය වී ඇති අර්බුදය විසඳා ගැනීමට නම් දෙරට සාකච්ඡා පැවැත්වීමට සුදුසු වාතාවරණයක් නිර්මාණය කර ගැනීම අවශ්‍ය බවය.

කලාපීය සාමය හා ස්ථාවරත්වය වෙනුවෙන් පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් කැපවී සිටින බවත්, ඉන්දීය රජය කළ යුත්තේ අගමැති ඉම්රාන්ට අවස්ථාවක් ලබා දීම බවත් සෞදි කුමරු අගමැති මෝදිට පෙන්වා දුන්නේය. ත්‍රස්තවාදය සහ අන්තවාදය මැඩලීමට සෞදියේ සහාය ඉන්දියාවට නොඅඩුව ලැබෙන බව ද සෞදි කුමරු අවධාරණය කළේය.

පුල්වාමා ප්‍රහාරයෙන් ඉන්දීය ආරක්ෂක අංශ සාමාජිකයන් 46 දෙනෙක් මියගියහ. බොහෝ දෙනෙක් තුවාල ලැබූහ. එම ප්‍රහාරය එල්ල කළේ පාකිස්තානයේ ක්‍රියාත්මක, පාකිස්තාන රජයේත් එරට බුද්ධි අංශයේත් සහාය සහ අනුග්‍රහය ලබන ‘ජයිෂ් ඊ මොහොමද්’ නමැති ත්‍රස්ත කල්ලියයි.

සල්මාන් කුමරු ඉන්දියාවට පැමිණියේ, ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරමින්, ඉන්දියාව සමඟ පවතින මිතුදම් වර්ධනය කර ගැනීමටය. ඉන්දීය අගමැති මෝදිගෙන් කුමරුන්ට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි.

නවද්ලියේදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS