සෞදියත් ඉරානයත් අතර සාකච්ඡා වට කීපයක්



සෞදි සහ ඉරාන රජයේ ඉහළ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ඉරාකයේ බැග්ඩෑඩ් නුවරදී සාකච්ඡා වට කීපයක් පැවැත්වුණු බව ඉරාක ජනාධිපති බර්හාම් සාලී පවසයි.

සෞදියත් ඉරානයත්, පළුදුවුණු හොඳහිත වර්ධනය කර ගැනීමට උත්සහ දරමින් සිටී. දෙපාර්ශ්වය අතර සාකච්ඡා පළමුවෙන් රහසේ පැවැත් වුණු නමුත් මේ වනවිට එම සාකච්ඡා නිල වශයෙන් පැවැත්වෙයි.

ඉරානයත් සෞදියත් අතර සාකච්ඡා සාර්ථක කිරීමෙහිලා මැදහත්කරු ලෙස කටයුතු කරන්නේ ඉරාක රජයයි.

සෞදි සහ ඉරාන රජයේ නියෝජිතයන් අතරේ අවස්ථා කීපයකදී සාකච්ඡා පැවැත්වූ බව, ඉරාක ජනාධිපතිවරයා අනාවරණය කළේ ලෙබනනයේ බීරූට් මාධ්‍ය ආයතනයක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි. එම සම්මුඛ සාකච්ඡාව පැවැත්වීම සිදුවූයේ ඔන්ලයින් ක්‍රමයටය.

නිල වශයෙන් සෞදියත් ඉරානයත් අතර ඉරාකයේ දී සාකච්ඡා පවත්වා ඇතැයි පැවැසෙන්නේ පසුගිය අප්‍රේල් 9 වැනිදාය. කෙසේ නමුත් ඉරාක ජනාධිපතිවරයා අනාවරණණය කළ අන්දමට ඊට පෙර ද නිල නොවන මට්ටමින් සාකච්ඡා කීපයක් පවත්වා තිබේ.

සුන්නි මුස්ලිම් සෞදියත් ෂියා මුස්ලිම් ඉරානයත් අතර යහපත් සබඳතා වර්ධනය වන්නේ නම්, එය මැදපෙරදිග කලාපයේ අර්බුද රැසක් විසඳීමට හේතුවක් වනු ඇතැයි ඉරාක ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

“ද්වීපාර්ශ්වය අතර සාකච්ඡා තවමත් අවසන් වී නැහැ. සාකච්ඡා දිගටම පැවැත්වෙනවා. එක දෙයක් පැහැදිලියි. සෞදියත් ඉරානයත් සාමයට කැමැති බව පැහැදිලියි. සෞදියේ සල්මාන් කුමරුන් ද ඉරානය සමඟ යහපත් සබඳතා ඇති කර ගැනීමට උනන්දුවක් දක්වන බව ප්‍රසිද්ධියේ පවසා තිබෙනවා.” යැයි ඉරාක ජනාධිපති බර්හාම් පැවැසීය.

(අල් ජසීරා)


RECOMMEND POSTS