සෞදියට පහර දීම නවත්වනවා



සෞදියේ ඉලක්ක වෙත පහරදීම නැවැත්වීමට තමන් තීරණය කළ බව යේමනයේ ෂියා මුස්ලිම් හවුති කැරැලිකරුවෝ කියති.

තමන් සෞදියේ තෙල් ගබඩා ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරය දුරදිග යමින් පවතින හෙයින් තමන් මෙම තීරණය ගත් බවත්, මින් ඉදිරියට සෞදියේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල නොකරන බවත් හවුති කැරැලිකරුවන්ගේ දේශපාලන අංශයේ ප්‍රධානියා මහ්දි අල් මෂාත් පවසා ඇත.

සෞදියේ තෙල් ගබඩා සංකීර්ණවලට ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කළේ තමන් බව හවුති කැරැලිකරුවන් පැවැසුවත්, සෞදිය හෝ ඇමෙරිකාව හෝ එය පිළිගන්නේ නැත.

සෞදිය සහ ඇමෙරිකාව චෝදනා කරන්නේ ඉතා හොඳින් සැලැසුම් කළ එම ප්‍රහාරය ඉරානය විසින් කරන ලද්දක් බවය. හවුති කැරැලිකරුවන්ට ඉරානයේ ද සහාය හිමිවන බව නොරහසකි.
තමන් තෙල් ගබඩා ඉලක්ක කර ගනිමින් පහර දුන්නේ සෞදිය යේමනයේ සිදුකරන ප්‍රහාරවලට විරෝධය දැක්වීමට මිසක්, සෞදියේ තෙල් අර්බුදයක් ඇති කිරීමට නොවන බවත්, ඉරානය, සෞදිය සහ ඇමෙරිකාව අතර යුද්ධයක් ඇති කිරිමට නොවන බවත් මහ්දි අල් මෂාත් වැඩිදුරටත් පවසා තිබේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS