සෞදියට අරාබි එමිරේට්ස් රාජ්‍යයට විරෝධය



සුඩාන වැසියන්ගෙන් සෞදියටත්, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයටත් විරෝධයක් එල්ල වෙමින් පවතී.

සෞදියත්, සෞදියට සහාය පළ කරමින් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයත් පවසා ඇත්තේ තමන් සුඩාන වැසියන් වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 500 ක මුදල් ආධාර ලබා දීමට පියවර ගන්නා බවය.

එම ආධාර මුදල සුඩාන මහ බැංකුවට යැවීමට කටයුතු කරන බව ද සෞදිය සහ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය වැඩි දුරටත් පවසා ඇත. සුඩාන වැසියන් පවසන්නේ තම රටේ හටගත් අභ්‍යන්තර අර්බුදයේ දී සෞදියේ හෝ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ හෝ උදව් අවශ්‍ය නොවන බවය.

සුඩාන වැසියන් විරෝධය දක්වමින් පවසා ඇත්තේ, සුඩානය ගොඩනැගීමටත්, යටිතල පහසුකම් නැංවීමටත් සෞදිය සහ සෞදියේ සගයා එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය ලබා දීමට කැමැත්ත පළ කළ ආධාර මුදල තමන්ට අවශ්‍ය නැති බවය. රට තමන්ට තනිවම කර ගැනීමට හැකි යැයි ද සුඩාන වැසියන් පෙන්වා දී ඇත.

සුඩානයේ මේ වනවිට දේශපාලන අර්බුදයක් පවතී. ඒ, ජනතා විරෝධතා සහ හමුදාවෙන් එල්ල වූ බලපෑම් හමුවේ ජනපති ධුරයේ කටයුතු කළ ඕමාර් අල් බෂීර් එම ධුරයෙන් ඉවත් වීමෙන් පසුවය. කෙසේ නමුත් හමුදාව රටේ බලය අල්ලා ගෙන සිටීම කෙරෙහි ද සුඩාන් වැසියන්ගේ ප්‍රසාදයක් නොමැත. එහෙයින් රටේ හටගත් නොසන්සුන්තාව තවමත් අවසන් වී නොමැත. සුඩානය අප්‍රිකා රාජ්‍යයකි.

කහර්ටෝම්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS