සෞදි නගර රැසකට ඇඳිරි නීතිය



සෞදි අරාබියේ කොවිඩ් 19 නව කොරෝන වයිරස ආසාදිතයින් ගණන ඊයේ (6) වනවිට දෙදහස් පන්සියය ඉක්මවූ බව සෞදි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදන උපුටා දක්වමින් ඒජන්සි පුවත් වාර්තා කරයි.

පසුගිය පය 24 ඇතුලත ආසාදිතයින් 138 ක් වාර්තා වූ අතර එම කාලය තුල ජිවිතක්ෂයට පත්වූ රෝගීන්ගේ ගණන 4 ක් වෙද්දී සුවවූ රෝගීන් 63 ක් ලෙස වාර්තා විය.

සෞදි අරාබියේ මුළු ආසාදිත රෝගීන්ගේ ගණන 2523 ක් වන අතර මේ වන විට සුවය ලබා ඇති ගණන 551 කි.

මියගොස් ඇති රෝගීන්ගේ ගණන 38 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කර තිබේ.

ප්‍රධාන නගර අතුරින් රියාද් රෝගීන් 577 ක් ද මක්කා 363 ක් ද ජෙඩ්ඩා 249 ක් ද මදිනා 229 ක් ද කතිෆ් 131 ක් ද දමාම් 112 ක් ලෙස ද හදුනාගෙන ඇත.

සෞදි අරාබියේ අනිකුත් ප්‍රාදේශීය නගර වලින් වාර්තා වන්නේ එක ප්‍රදේශයකින් 50 කට අඩු සංඛ්‍යාවකි.

තත්වය මෙසේ  තිබියදී සෞදි සෞඛ්‍ය අමාත්‍යාංශය සියලුම පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිනුයේ  කිසිදු ගෙවීමකින් තොරව, නිත්‍යානුකුල හෝ නිති විරෝධිව රැදී සිටින ඕනෑම පුත්ගලයෙකුට නොමිලේ  ප්‍රතිකාර ලබා ගැනීමට පහසුකම් සලසා ඇති බැවින් රෝග ලක්ෂණ පහලවිනම් වහාම ඉදිරිපත්වෙන ලෙසයි.

නීති විරෝධිව සිටින කිසිදු පුත්ගලයෙකුගෙන් හැදුනුම්පත් හෝ විසා පිළිබවද කිසිදු විමසීමක් නොකරන අතර කිසිදු දඩ මුදලක් හෝ අය කිරීමක් නොමැති බව ද සදහන් ය.

මේ අතර ඊයේ (6) දින සවස 3.00 සිට පසුදා අලුයම 6.00 වෙන තෙක් ක්‍රියාත්මක වූ ඇදිරි නිතිය දමාම්,රියාද්,ජෙඩ්ඩ, තබුක්,දහරාන්,හෆුප් සහ අල් කොබාර් යන පළාත් වලට මුළු දවස පුරාම ක්‍රියාත්මක බව සෞදි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් මගින් ප්‍රකාශ කර සිටි බව සෞදි පුවත් ඒජන්සි පවසයි.

කෙසේ වුවද ආහාර පාන සහ බෙහෙත් වර්ග ලබා ගැනීම සදහා කිට්ටුම ප්‍රදේශයේ පිහිටි ඔසුසල් සහ වෙළදසල් වෙත ගමන් කිරීම සදහා එක අයෙකුට හෝ දෙදෙනෙකුට පමණක් වන අතර එම කාලය උදැසන 6.00 සිට සවස 3.00 දක්වා ලබා දී ඇත.

තත්වය මෙසේ තිබියදී සෞදි සෞඛ්‍ය අමාත්‍යාංශය සියලුම පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිනුයේ කොවිඩ් 19 කොරෝන වසංගතය ව්‍යාප්තවීම වළකාලීම සදහා නිතර දෙඅත් සෝදා පිරිසිදු කර ගැනීම,  කණ්ඩායම් එක් රැස්වීමෙන් වැලකීම දුරස්ථභාවය සහ නිවසේ රැදී සිටීම යන කරුණු අනුගමනය කිරීමෙන් තම වගකීම ඉටු කරන ලෙසයි.

විශේෂ වාර්තාකරු
ලලිත් ප්‍රේමලාල්
සෞදියේ දමාම් නුවර සිට

RECOMMEND POSTS