සෞදි තෙල් සැපයුම් අඩපණ වෙයි



සෞදියේ තෙල් සහ වායු ගබඩා පර්යන්ත දෙකකට එල්ලවුණු නියමුවන් රහිත ඩ්‍රෝන ප්‍රහාරයෙන් එම තෙල් ගබඩා පර්යන්ත විනාශ වුණු බවත්, තෙල් සහ වායු නිෂ්පාදන කටයුතු මේ වනවිට අඩපණ වී ඇති බවත් වාර්තා වේ.

ඩ්‍රෝන ප්‍රහාර එල්ල වූයේ සෞදියේ නැගෙනහිර දෙසින් පිහිටි අබ් කයික් සහ කුරේයිස් යන පළාත්වල තෙල් සහ වායු ගබඩා පර්යන්තවලටය. සෞදියේ විශාලතම තෙල් ගබඩා පර්යන්ත ලෙස මේවා සැලකෙයි. මෙම ගබඩා පර්යන්ත සෞදි රජයට අයත් අරම්කෝ තෙල් සමාගමයට අයත්ය.

ප්‍රහාරයෙන් පසු සිදුවුණු පිපිරීම්වලින් හටගත් ගින්න නිවා දැමීමට සෞදි ගිනි නිවන භටයන්ට සහ හමුදාවට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිය. ප්‍රහාර එල්ල වූයේ අලුයමය.

තෙල් ගබඩා පර්යන්ත ඩ්‍රෝන ප්‍රහාරයෙන් විනාශ වූ බවත්, තෙල් සහ වායු සැපැයුම් කටයුතු ඒ අනුව අඩපණ වී ඇති බවත් සෞදි රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ප්‍රහාරයෙන් පසු බොර තෙල් නිෂ්පාදනය හරි අඩකින් පහත වැටුණු බව සෞදියේ නව බලශක්ති ඇමැති අබ්දුල්ලාසි බින් සල්මාන් කුමරු කියයි. සෞදියේ බලශක්ති අමාත්‍යවරවයා ලෙස අබ්දුල්ලාසි බින් සල්මාන් පත් කිරීම සිදුවූයේ ඉකුත් සතියේය. ඒ, සල්මාන් රජු නිකුත් කළ රාජ ආඥාවක් මගිනි.

(අල් ජසීරා)


RECOMMEND POSTS