සෞදි කොන්දේසි කටාරය ප්‍රතික්ෂේප කරයි



පවතින අර්බුදය අවසන් කරමින්, පනවා ඇති සම්බාධක ඉවත් කිරීමට සෞදිය ප්‍රමුඛ සෙසු ගල්ෆ් කලාපීය රටවල් ඉදිරිපත් කළ කොන්දේසි තරයේ ප්‍රතික්ෂේප කරන බව කටාර් රාජ්‍යය කියයි.

සෞදිය සමඟ කටාර් රාජ්‍යයට එම කොන්දේසි පැනැවූ සෙසු රටවල් නම් ඊජිප්තුව, බහරේනය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයයි.

කටාර් රාජ්‍යයේ ස්ථාපිත ජාත්‍යන්තර පුවත් නාළිකාවක් වන අල් ජසීරා නාළිකාව තහනම් කිරීම පවා එම කොන්දේසි අතරේ ඇතැයි ද පැවැසෙයි. සෞදිය ප්‍රමුණ රටවල් කටාරයට කොන්දේසි 13 ක් ඉදිරිපත් කර ඇත.

කටාර් රාජ්‍යය ඉරානය සමඟත් තුර්කිය සමඟත් පවත්වන සබඳතා අඩු කළ යුතුයි යන්න තවත් කොන්දේසියකි. තුර්කි හමුදා කඳවුරක් කටාරයේ පිහිටුවා ඇති අතර, එම කඳවුරට තුර්කිය මේ වනවිට හමුදා බළඇණියක් ද යවා තිබේ.

සෞදිය ප්‍රමුඛ ගල්ෆ් කලාපීය රටවල් 4 පවසා ඇත්තේ දින 10 ක් ඇතුළත එම හමුදා කඳවුර වසා දැමීමට කටාරය පියවර ගත යුතුයි කියාය. කටාරය එකහෙළා මීට විරෝධය දක්වා ඇතැයි ද පැවැසෙයි. කටාර් විදේශ ඇමැතිවරයා පෙන්වා දී ඇත්තේ සෞදිය ප්‍රමුඛ සෙසු ගල්ෆ් රටවල් ඉදිරිපත් කර ඇති කොන්දේසි යථාර්ථවාදී නොවන බවය.

(රොයිටර්)


RECOMMEND POSTS