සෞදි කටාර් හමුවක්



කටාර් නිර්මාතෘ යැයි සැලකෙන ෂෙයික් ජසීම් බින් මොහොමද් අල් තානීගෙන් පැවැත එන කටාර් රජ පවුලේ සාමාජිකයකු සහ සෞදියේ ඔටුන්න හිමි කුමරු මොහොමද් බින් සල්මාන් අතරේ හමුවක් පසුගිය දා පැවැත්වුණු බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස කටාරයේ හජ් වන්දනාකරුවන්ට සෞදියට පැමිණීමට සෞදි රජය අවසර දුන් බවත් මැදපෙරදිග පුවත් සේවා අනාවරණය කරයි.

සෞදියේ ඔටුන්න හිමි කුමරු මොහොමද් බින් සල්මාන් හමුවී සාකච්ඡා කළේ ෂෙයික් අබ්දුල්ලා බින් අලී අල් තානීය. ඒ, ෂෙයික් අබ්දුල්ලා බින් අලී අල් තානි සෞදියට පැමිණීමෙන් පසුවය. ඔහුට සෞදියේ ඔටුන්න හිමි කුමරාගෙන් හිමිවූයේ ඉතා උණුසුම් පිළිගැනීමක් බව ද පැවැසෙයි.

ඉන්පසු දෙදෙනාම එක්වී, පෞද්ගලික ජෙට් යානයකින් මොරොක්කෝ බලා ගිය ගොස් ඇත. මොරොක්කෝවේ නිවාඩුවකට ගොස් සිටි සෞදියේ සල්මාන් රජු සහ ෂෙයික් අබ්දුල්ලා බින් අලී අල් තානී අතරේ ද ඉන්පසු හමුවක් පැවැත්වුණු බව වාර්තා වේ.

ෂෙයික් අබ්දුල්ලා බින් අලී අල් තානී සෞදි ගියේත් ඉන්පසු මොරොක්කෝ බලා ගියේත් පෞද්ගලික සංචාරයකට යැයි කටාර් රජය පවසා තිබේ.

දේශපාලනික වශයෙන් සෞදිය සහ කාටාරය අතර පවතින නොහොඳ නෝක්කඩු සමථයකට පත් කර ගැනීමේ අරමුණින් එම සංචාරය සිදුවුණු බව කටාර් රජය පවසා නැත.

කෙසේ නමුත් එම හමුවේ දී සෞදි රජු සල්මාන් සමඟ පවතින අර්බුදය ගැන ෂෙයික් අබ්දුල්ලා බින් අලී අල් තානී සාකච්ඡා කරන්න ඇති බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස කටාර් හජ් වන්දනාකරුවන්ට සෞදියට පැමිණීමට සෞදි රජය අවසර දෙන්න ඇති බවත් දේශපාලන විශ්ලේෂකයෝ අනුමාන කරති.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS